රතු පටි ක්‍රමය (Bureaucracy) වෙනුවට ‘ඩිජිටල් පලස්’ එළමින් විදේශීය සෘජු ආයෝජන (FDI) දිනා ගැනීමේ මෙම නව උපායමාර්ගය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසිනි.
ලිපිගොනු පෝලිම් ඉවරයි: ‘Ready-to-Invest’ සමඟ විනාඩි කිහිපයකින් ආයෝජනයට අවස්ථාව
ආයෝජකයන් දීර්ඝ කාලයක් තිස්සේ මැසිවිලි නැඟූ පරිපාලනමය ප්‍රමුඛතා සහ අනුමැතීන් ප්‍රමාද වීමේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුමක් ලෙස BOI ආයතනය "Ready-to-Invest" ඩිජිටල් වෙළෙඳපොළ (Digital Marketplace) හඳුන්වා දී ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පූර්ණ ශක්‍යතා අධ්‍යයනයන් (Feasibility Assessments) නිම කළ සහ ඉඩම් වෙන්කර හඳුනාගත් ව්‍යාපෘති 30ක් මෙහි සෘජුවම ප්‍රදර්ශනය කර තිබීමයි. මේ හරහා අතරමැදි අදියර රැසක් මඟහැර, විනිවිදභාවයකින් යුතුව ආයෝජන සාකච්ඡා ක්ෂණිකව ආරම්භ කිරීමට විදේශීය සමාගම්වලට අවස්ථාව ලැබී තිබේ.
මීට අමතරව, හඳුන්වා දී ඇති ඒකාබද්ධ ඩිජිටල් ද්වාරය (Digital Application Gateway) හරහා ලේඛන උඩුගත කිරීමේ සිට QR තාක්ෂණය ඔස්සේ රේගු අනුමැතීන් සහ ගේට්ටු මුරපත්‍ර (Gate Pass) ලබා ගැනීම දක්වා සියලු ක්‍රියාවලීන් ස්වයංක්‍රීය කර ඇත. එමෙන්ම, භූගෝලීය තොරතුරු පද්ධති (Geospatial Mapping) සහිත ‘ඩිජිටල් ඉඩම් බැංකුව’ (Digital Land Bank) හරහා ලොව ඕනෑම තැනක සිට මෙරට කාර්මික කලාපීය ඉඩම් දුරස්ථව නිරීක්ෂණය කිරීමට ද ආයෝජකයාට දැන් හැකියාව පවතී.
තාක්ෂණික සහ පතල් ක්ෂේත්‍රයට විශේෂ මාවත්: අවම සීමාව ඩොලර් 2,50000 දක්වා පහළට
නියාමන රාමුවේ සිදුකළ මෙම ප්‍රතිසංස්කරණ මඟින් රටේ අනාගත වර්ධනයට තීරණාත්මක වන ජාත්‍යන්තර පතල් කැණීම්, ඛනිජ වැලි ව්‍යාපෘති, දත්ත මධ්‍යස්ථාන (Data Centres) සහ උසස් තාක්ෂණික ව්‍යාපාර සඳහා ‘විශේෂ අනුමැති මාවත්’ නිර්මාණය කර ඇත.
විශේෂයෙන්ම, ගෝලීය නවෝත්පාදන කුඩා සමාගම් ලංකාවට ගෙන්වා ගැනීම උදෙසා තාක්ෂණික අංශයේ ශාඛා කාර්යාල සඳහා වූ අවම ආයෝජන සීමාව ඇමරිකානු ඩොලර් 250,000 දක්වා පහත හෙළීමට රජය පියවර ගෙන තිබේ.
පළමු කාර්තුවෙන් සාර්ථක පෙරනිමිති: සිංගප්පූරුව සහ ඉන්දියාව පෙරමුණේ
මෙම ඩිජිටල් ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය දැනටමත් ආර්ථික දර්ශක මඟින් සනාථ වෙමින් පවතී. නිල දත්ත ඇස්තමේන්තුවලට අනුව, 2026 වසරේ පළමු කාර්තුව තුළ පමණක් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 226ක ආයෝජන කැපවීම් ආකර්ෂණය කරගෙන ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 16ක කැපී පෙනෙන වර්ධනයකි.
සිංගප්පූරුව, ඉන්දියාව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග් යන රටවල් මෙරට ප්‍රධානතම ආයෝජන හවුල්කරුවන් බවට පත්ව ඇති අතර, මෑතකාලීන සමස්ත ප්‍රාග්ධන ගලා ඒම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ.
ජාතික ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින මොහොතක, මේ වසර සඳහා ඉලක්ක කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු විදේශීය ආයෝජන සීමාව ජය ගැනීමට මෙම ‘ඩිජිටල් මෙවලම්’ ශක්තිමත් පදනමක් දමනු ඇතැයි රජයේ අදහස වී තිබේ.
පවතින සාම්ප්‍රදායික ක්‍රමවේද තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම හරහා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තරඟකාරීම සහ ආකර්ෂණීයම ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝක සිතියමේ සලකුණු වන දිනය වැඩි ඈතක නොවනු ඇතැයි ශ්‍රී ලංකා යෝජනා මණ්ඩලය පවසයි.
(සටහන | සම්පත් ධීරසේකර)




