ඡායා : Kumanan Kana

 

දකුණේ දහස් ගණන් එක්වූ දේශපාලන පෙලපාලි වලට නැති ආරක්ෂක අඩන්තේට්ටම් මැද දෙමළ කාන්තාවන් පෙරටුකොට පැවැත්වූ විරෝධතා නිසා


උතුරේ බුදු මැදුරකට මුල් ගල් තැබීම හා නල්ලුර් කෝවිල් වන්දනාව අත්හැර දමන්නට අගමැතිවරයාට සිදුවී තිබේ.

යාපනයේ දෙදින නිල සංචාරයක නිරතව සිටි අගමැති මහින්ද රාජපක්‍ෂ කන්දරෝදෛ පුරාවිද්‍යා භුමියේ බුදු මැදුරකට මුල් ගල් තැබීම සති අන්තයේ යොදාගෙන තිබිණි.

එහෙත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) විසින් කැඳවා තිබු මහජන විරෝධතාවක්  නිසා බුදු මැදුරට මුල් ගල් තැබීම හා කන්දරෝදෛ සංචාරය හදිසියේ අගමැතිවරයා විසින් අවලංගු කළ බව යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදියෝ පවසති.

අගමැතිවරයාගේ සංචාරය නිසා එම ප්‍රදේශයේ රැකවල් ලා තිබු පොලිස් හා හමුදා බල ඇනි යළි කැඳවා තිබේ.

 

අගමැතිවරයා නල්ලුර් කන්දසාමි කෝවිල වැඳ පුදා ගැනීමට කලින් සැලසුම් කර තිබුන ද එම ස්ථානයේද ඔහුට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුමක් ඇති බවට සැල වීමෙන් අවසන් මොහොතේ තීරණය වෙනස් කරමින් මාවිට්ටපුරම් කන්දසාමි කෝවිලට ගොස් ආගමික වතාවත් වලට එක්වී ඇත.

 

යාපනය අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් වාර්තා කරන්නේ අගමැතිගේ පැමිණීම අපේක්ෂාවෙන් නල්ලුර් කෝවිල අවට සිව් කොනේ මාවත් වසා දමා හමුදා, පොලිස් හා විශේෂ කාර්ය සාධක බලකායේ බල ඇනි  කැඳවා දැඩි ලෙස රැකවල් දා තිබු බවයි.

නල්ලුර් කෝවිලේ ප්‍රධාන පිවිසුම, පේදුරු තුඩුව මාර්ගය හා කෝවිල් වීදිය  හරස් කරමින් තාවකාලික මුර කපොලු ඉදිකර තිබිණි.

රුපියල් මිලියන 200 ක් වැය කරමින් යාපනය මට්ටුවිල් විශේෂ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයක් ද අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 මුලතිව් සිට බස් රථයකින් පැමිණි බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීහු එහිදී අගමැතිවරයාට එරෙහිව විරෝධය දක්වන්නට වූහ.

මට්ටුවිල් අම්මාන් කෝවිල ආසන්නයේ ඔවුන් පැමිණි බස් රථය හරස් කළ පොලිසිය ඔවුන් මහමගට බැසීම වලක්වා ලමින් දොරටුව අසල රැකවල් ලා සිටිය ද  එය සාර්ථක නොවිණි.

 

පොලිසිය බස් රියදුරාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී රථයෙන් පිටතට පැන ගත් අතුරුදහන් කළවුන්ගේ අම්මලා පිරිසක් උද්ඝෝෂණයේ යෙදී සිටියදී ඊට පොලීසිය විසින් බාධා කිරීමට යාමේදී නොසන්සුන්තාවයක් ඇතිවූ බව යාපනේ මාධ්‍යවේදීන් වීඩියෝ ගතකොට තිබේ.

 

අගමැතිගේ පැමිණීමට විරෝධය දැක්වීමට පැමිණි යාපනේ වේලන් ස්වාමි ඇතුළු පිරිස රැගත් බස් රථය මට්ටුවිල් පන්නාර්ති පාලම අසල දී හරස් කළ පොලීසිය උත්සව සභාව අවසන්වන තෙක්ම ඔවුන් පිටතට පැමිණීම වළක්වා තිබිණි.

පසුව බස් රථයෙන් බැස ගත් පිරිස අගමැතිවරයා පිළිගැනීමට ප්‍රදර්ශනය කර තිබුණු බැනර් හා `කටවුට්` ඉරා දමා ඒවාට ගිනි තබා සිය විරෝධය දැක්වුහ.

"එයා තමයි අපේ ළමයි අල්ලං ගියේ," යි එක් මාතාවක් රැකවලුන්ට සිංහලෙන් කියනු වීඩියෝ ගතවී තිබේ.

 ඩී. ඇස් සේනානායක ආණ්ඩුවේ කර්මාන්ත ඇමැතිවරයා වූ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, ජී.ජී. පොන්නම්බලම් විසින් 1950 වසරේදී පිහිටවූ  කන්කසන්තුරෙයි සිමෙන්ති කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට ද අගමැති රාජපක්‍ෂ ගොස් තිබේ.

යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී වසා දැමුණු  සිමෙන්ති කර්මාන්ත ශාලාව යළි අරඹන බව අගමැති රාජපක්‍ෂ මෙහිදී ප්‍රකාශ කෙළේය.

 දෙදින සංචාරයක් සඳහා යාපනයට පැමිණි අගමැති මහින්ද රාජපක්‍ෂට එරෙහිව උද්ඝෝෂණයක් යාපනය කච්චේරිය ඉදිරිපිට දී සෙනසුරාදා පැවැත්විණි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ කැඳවා තිබු මෙම මහජන උද්ඝෝෂණයේදී,

 ''ජන ඝාතක මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරනු'' ,
''ත්‍රස්ත පනත අහෝසි කරනු'',
''දේශපාලන සිරකරුවන් නිදහස් කරනු'',
''බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් ගැන ජාත්‍යන්තර විමර්ශනයක් කැඳවනු'',
''ජාත්‍යන්තරය දෙමළ ජන සංහාරයට යුක්තිය ඉටු කළ යුතුයි'',
''කන්දරෝදෛ බුදු මැදුරට මුල්ගල් තැබීම නවතනු'',
''නාවට්කුලි සිංහලකරණය නවතනු'', 



ආදී පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින්, විරෝධතාකරුවෝ හඬ නැගූහ.

මෙම උද්ඝෝෂණය සඳහා එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් හා නීති උපදේශක කනගරත්නම් සුගාස් එක්වූ අතර යාපනේ මාධ්‍යවේදීන් පවසන්නේ අගමැතිවරයාගේ සංචාරය හේතුවෙන් නගරය පුරා පොලිස් හා හමුදා බල ඇණි තර කොට තිබු බවයි.

අගමැති රාජපක්‍ෂ ඉරිදා දිනයේ යාපනයේ නාග විහාරයටත්, නයිනතිව් ආරියකුලම් නාග විහාරයත්, නාග පුසනි අම්මාන් කෝවිලටත් පැමිණ ආගමික වතාවත් වල යෙදී තිබේ.
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්