නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ලබන සදුදා ( 15 ) වැනිදා ඇරඹේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් 1964 වර්ෂයේ දී ස්ථාපිත කළ පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම් පොළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් අන්තර් පළාත් හා නගරාන්තර බස් පර්යන්තයක් ලෙස දිනකට බස් ගමන් වාර 1500 – 2000 අතර ප්‍රමාණයක් සිදු කරමින් ලක්ෂයක පමණ පිරිසකට විවිධ ප්‍රදේශ කරා ප්‍රවාහනයට දායක වන දිවයිනේ ප්‍රමුඛතම ප්‍රවාහන මධ්‍යස්ථානය යි.
දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා සහ යාවත්කාලීන කිරීම සිදු නොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම් පොළෙහි ප්‍රවේශ මාර්ග, බස් රථ අංගන, මගී නැවතුම්, රියදුරු කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක සහ ජල අපවාහන පද්ධති මේ වන විට ඉතා අබලන් තත්ත්වයට පත්වී තිබේ.
එම තත්ත්වය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ භාවිත කරන මගී ජනතාවට, රියදුරන්ට, කොන්දොස්තරවරුන්ට සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව තිබේ.
එබැවින් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය සහ වර්තමානයට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවකි. ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක වියදමින්, එම ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන 15වෙනි දා ඇරඹීමට නියමිත ය.
ව්‍යාපෘතිය සඳහා වාස්තු විද්‍යාත්මක ඉංජිනේරුමය සහ ශ්‍රම දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යන ආයතන මෙන්ම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, විදුලි බල මණ්ඩලය සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ව්‍යාපෘතියට සහාය දක්වයි.
(සටහන - ජේ. මුණසිංහ)




