රාත්‍රී කාලයේ නිවසකට කඩා වැදී තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සැකයකින් තොරව ඔප්පු වෙයි
2001 වසරේදී අත්තනගල්ල ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේදී කඩා වැදී, එහි සිටි අවිවාහක තරුණයෙකු කඩුවලින් කපා කොටා බෲටල් ලෙස ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසින් ඊයේ (17) මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
චෝදනා පත්‍රය සහ දීර්ඝ නඩු විභාගය
මෙසේ මරණ දඬුවම නියම වූයේ අත්තනගල්ල, වෙළගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සුමින්ද මංජුල, වජිර ඉන්දික, ඩබ්ලිව්.ඒ. සිරිසේන, ජන කාන්ති සහ ඩබ්ලිව්. ලලිත් ප්‍රියන්ත කුමාර යන පස්දෙනාටයි. මින් සිරිසේන (පියා), ජන කාන්ති (මව) සහ සෙසු පුතුන් දෙදෙනා එකම පවුලේ සාමාජිකයන් වේ.
නඩු වාර්තාවලට අනුව, 2001 වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනක රාත්‍රී කාලයේදී නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයට අයත් දියකාවිට, වෙළගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට මෙම පිරිස නීතිවිරෝධී ජනරාශියකින් කඩා වැදී තිබේ. එහිදී නිවැසියන්ට අතින් පයින්, ගල් හා පොලුවලින් පහරදී, කඩුවලින් කපා කොටා එච්. නිහාල් කුමාර නැමැති තරුණයා ඝාතනය කිරීම සහ නිවසේ සිටි තවත් තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදුකිරීම මොවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ ප්‍රධාන චෝදනා වේ.
අධිකරණ තීන්දුව
වසර 25කට ආසන්න කාලයක් තිස්සේ මහාධිකරණය හමුවේ විභාග වූ මෙම දීර්ඝ නඩු විභාගයේදී පැමිණිල්ල පාර්ශවය විසින් ඉදිරිපත් කළ සාක්ෂි මඟින් විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට සමත් වී ඇතැයි විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, පොදු අරමුණක් සහිතව සාමූහිකව සිදුකරන ලද මෙම අපරාධයට වරදකරුවන් කෙරුණු එකම පවුලේ සාමාජිකයන් හතරදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනාටම මරණ දඬුවම නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.
ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසය තුළ එකම පවුලක සාමාජිකයන් සිව්දෙනෙකු ඇතුළු පිරිසකට මෙලෙස එකවර මරණ දඬුවම නියම වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම නඩු තීන්දුව වාර්තා වේ.




