"එළඹෙන දෙසැම්බර් මස 09 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයෙකු ස්ථිර වශයෙන් දිවුරුම් දෙනු ඇත." යයි ඔහු සිය FB පිටුවේ සටහනක් තබමින් පවසා ඇත.
රාජපක්ෂලාට දුන් සංඥාවක් ද ?
ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කලේ ඇයි ද කියන කාරණය සම්බන්ධයෙන් මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස සංවාදයට ලක්වෙමින් තිබේ.
කෙසේවුවද ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ, ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රීලනිපය හා රාජපක්ෂ කණ්ඩායම අතර පැවැත්වෙන සාකච්ජා ඇල්මරුන ස්වරුපයක් ගනිද්දීය. දෙපාර්ශවය අතර සිදුකෙරෙන සාකච්ජා දිගින් දිගටම එකඟත්වයකින් තොරව අවසන් වීමත්, එම සාකච්ජාවලදී ශ්‍රීලනිප නියෝජිතයින් ගණන් නොගැනීමත් පැහැදිලිව සිදුවිය.
ඒ අතර බැසිල් වාදියකු වන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පසුගිය දා ද අවධාරණය කර සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීමට තම පක්ෂය කිසිඳු ලෙසකින් සුදානම් නොමැති බවයි.
එම තත්වය යටතේ ජනාධිපතිවරයා, රාජපක්ෂ කඳවුර බිය ගැන්වීමට මෙවැනි ප්‍රකාශයක් කළ ද ? යන සැකයක් මතුව තිබේ.
කෙසේවුවද ගෝඨාභය රාජපක්ෂවාදියකු වන නාලක ගොඩහේවා, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමච්චලයට ලක්කරමින්, ''අරයලට සහය දෙනව කිව්වම බය වෙලා පස්සෙන් එයි කියල හිතුවද ? '' කියා සිය FB පිටුවේ සටහනක් තබා ඇත.
ශ්‍රීලනිප ලොක්කන් තිගැස්මෙන් !
ජනාධිපතිවරයා මෙසේ කැබිනට්ටුවේ දී එජාප ඇමතිවරුන් හමුවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැය භාගයකට වැඩි කාලයක් විස්තර කර ඇතත්, ශ්‍රීලනිපයේ නායකයා වන ඔහු තම පක්ෂයේ නායකයින් වෙත මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශකර නොතිබීම විශේෂිතම කාරණයකි.
ජනාධිපතිවරයා ඊයේ කැබිනට්ටුවේ දී කල කතාව දැනුවත් වූ වහාම එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (05) උදැසනම ජනාධිපතිවරයාගේ නිල නිවසට ගොස් මේ සම්බන්ධයෙන් විමසීමක් කර තිබේ. එහිදී ජනාධිපතිවරයා සුපුරුදු පරිදි කොක්හඬලා සිනාසෙමින්, ''කලබල නැතුව ඉන්න, අපි බලමුකෝ'' යයි සඳහන් කර ප්‍රශ්නය මග හැර ඇත.
'ද ලීඩර්' කල විමසීමේදී ශ්‍රීලනිප මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුයේ, තමා මේ කිසිවක් නොදන්නා බවයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවක් ජනාධිපතිවරයා තමාට හෝ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දී නැතැයි ද ඔහු කියා සිටියේය. කෙසේවුවද මේ සම්බන්ධයෙන් අද රාත්‍රී පක්ෂයේ ප්‍රධානින් හමුවී සාකච්ජා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.
අගමැතිකමට එනවා ලු !
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ මෙහෙයවීම යටතේ පවත්වා ගෙන යන වෙබ් අඩවියක සඳහන් වන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොවදින බවට කර ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනය ඉවත් වීමක් සිදු නොවන බවයි.
ඉදිරි කාල සීමාව තුළ ජනාධිපති ක්‍රමය මෙරටින් අහෝසි වීමේ ඉඩක් ඇති බවත්, මීළඟට බිහිවන රාජ නායක තනතුර සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමට සැලසුම් සකස් කරමින් සිටින බවද එම වෙබ් අඩවියේ සඳහන් වේ.
ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ නොවදින බව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළේ යැයි පලවන වාර්තා පිළිගන්නා එම වෙබ් අඩවිය, ජනාධිපතිවරණයට තරඟ නොවදින බව පැවසුවා මිස රාජ්‍ය පාලනයෙන් සමුගන්නා බව හෝ රාජ්‍ය නායකයා වීම අතහරින බවක් පවසා නැතැයි තවදුරටත් කියා සිටියි.



