ඔහු මෙලෙස ප්‍රකාශ කළේ පසුගිය හත්වන දින පාර්ලිමේන්තුවේ දී ය.
ඒ අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
විධිමත්, විචාරාත්මක, පරිශීලනාත්මක ඉදිරිපත් කිරීමක් නැහැ
''ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ දීර්ඝ කතාවක් කරපු එක හරියට නරක හීනයක් දැකල කරපු කතාවක් වගේ. ඒ කතාවේ කුරිරු සිහින ගැන කියනවා. දෙසැම්බර් හෝ ඊට ආසන්නයේ සිදුවන කුමන්ත්‍රණ ගැන කියනවා. තීරුබදු ගැටලුව ගැන විපක්ෂයේ කුරිරු සිහිනය උදාකරන්න හදනවා කියල කියනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරක තීරුබදු ප්‍රශ්නය ආපු විගස රටක් ලෙස එකතු වන්න ඕනි කියා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ දේශපාලන වාද භේද කුමක් වුවත් එකට සිට ගෙන මෙයට මුහුණ දෙන බව අපි පැවසුවා. රජය බලයට පත්වූ පසු ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දුන්නත් රජය ඒවා ක්‍රියාත්මක කළේ නෑ. රට වෙනුවෙන් විපක්ෂය ඉන්නවා යැයි පුනපුනා කිව්වත් ජනාධිපතිවරයා නරක හීනයක් දැක ලොකු පීඩනයෙන් ආතතියෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ කතාවක් ලෙස කතාවක් කළා. විධිමත් විචාරාත්මක පරිශීලනාත්මක ඉදිරිපත් කිරීමක් ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කළාට ඒක සිද්ධ වුණේ නෑ.''
ජනාධිපති කියනවා වගේ කුරිරු සිහින අපි ළග නැහැ
ප්‍රතිචාරාත්මක තීරුබදු 44% සිට 20% දක්වා අඩුවන කාලයේ අපි ඉදිරිපත් කරපු ට්විටර් පණිවිඩයට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා පනවපු තීරුබදු 20% දක්වා අඩු කිරීම සතුටට කරුණක්. මේ නිසා ශ්‍රී ලංකාව, වියට්නාමය හා බංග්ලාදේශය සමග සම තත්ත්වයක පසුවන විට, ඉන්දියාවට 25%ක තීරුබදු ගන්නා විට අප රටේ අපනයනකරුවන්ට සැබෑ තල්ලුවක් ගැනීමට මෙය 15% දක්වා අඩු කිරීමට ඉලක්ක කර ගත යුතු යි. ඒ වෙනුවෙන් වෙළෙද ආර්ථික විශේෂඥයන් සහ ආර්ථික කණ්ඩායමක් අප සතුවිය යුතු යි. මෙහි කුරිරු සිහිනයක් ඇත්තේ කොතැනද කියා අපි ප්‍රශ්න කරනවා. අමාරු අවස්ථාවේ ජනතාවගේ හා රටේ අපේක්ෂා අමතක කර කුරිරු සිහින නිර්මාණය කරනවා යැයි පැවසීම වැරදියි.
ඔළුගෙඩි මාරුවෙන් බලය ගන්න අපිට අවශ්‍ය නැහැ
ජනාධිපතිවරයාගේ කතාවේ දෙසැම්බරයේ වෙනසක්, ඊට පසු වෙනසක් ගැන කිව්වත් එවැනි වෙනසක් සිදුවිය යුත්තේ ජනතා ඡන්දයෙන් පමණයි. ඔළුගෙඩි මාරුවීමෙන් එය සිදු නොවිය යුතු යි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා සදාකාලික බලයක් ගැන සිතා සිටියත් ජන මතයට හිස නොනැමූ නිසා ජනතාව පාරට බැස්සා. 2022 පවා සිදු වූයේ ස්වාභාවික අරගලයක්. මේ විවාදයේදී අපේක්ෂා කළේ එවැනි දෙයක් නෙවෙයි; විශ්ලේෂණාත්මක ආර්ථික ඉදිරිපත් කිරීමක්.
ජනතාවට කරපු බොරුව නිවැරදි කරන්න
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියලා එය ඉටු නොකරන කුමන්ත්‍රණය අද තුනෙන් දෙකක බලයෙන් ක්‍රියාත්මක වෙනවා. ජනතාව රවටා, අන්දවා. මංමුළා කරන ජනතාවට ටොම් පච කියන කුමන්ත්‍රණය නම් තියෙනවා. විපක්ෂය කටයුතු කරන්නේ පොදු ජන මතය අනුව මිස ඔළුගෙඩි මාරුවීම්වලින් නෙවෙයි. එම නිසා ජනතාවට කළ බොරුව නිවැරදි කරන්න.
ජනාධිපතිවරයාට, තමන් ජනාධිපති බව අමතක වෙලා
අප රටට වේගවත් අපනයන වර්ධනයක් ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් ජනාධිපතිවරයාට එය අමතක වෙලා. අද දුප්පත්කම බරපතළ ගැටලුවක් වෙලා තියෙන බව ජනාධිපති දන්නව ද කිය ගැටලුවක් තියෙනවා. රටේ දුප්පත්කම රට ම වෙළාගෙන ඇති බවට දත්ත කේන්ද්‍රීය පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. ග්‍රාමීය නාගරික මෙන්ම පළාත් නමයේ ම 45%ක් දුප්පත්. මේ දුප්පත්කම තුරන් කරන්නට රජයට වැඩපිළිවෙළක් නෑ. අස්වැසුම විසඳුමක් නෙවෙයි කියලරජය කිව්වට රජයට නව වැඩපිළිවෙළක් ගැන උත්තරයක් නෑ. අප රටට සෘජු විදේශ ආයෝජන ගෙන එන්නටවත් වැඩපිළිවෙළක් නෑ. ජනාධිපතිවරයාට එතුමා ජනාධිපති බව අමතක වෙලා විපක්ෂ මන්ත්‍රීවරුන් වගේ කතා කරනවා. විරැකියාව වැඩි වී කර්මාන්තශාලා වැසී ගියත් තරුණයන්ට දෙන්න උත්තර නෑ. මේ යන විදිහට 2028 විදේශ ණය ගෙවීම සිහිනයක්. ජාත්‍යන්තර මූල්‍ය ආයතන කියන ආකාරයට ආර්ථික වර්ධන වේගය 5%ක් විය යුතු වුවත් මේ වසරේ එවැනි ඉලක්කයක් ඇත් ද කියා දැන ගැනිමට අවශ්‍ය යි. වාර්තා වන ආකාරයට එය 3.5%යි.
අපි බලය ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව යි
පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනා ගෙන පොදු ජනතාව අතරට ගොස් සොයා බලන්න. පාර්ලිමේන්තුවේ පම්පෝරි නොගහ, මානුෂීය වෙලා, සඳලුතලවල නොසිට, ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කර ගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. කිසිදු දේශපාලන කුමන්ත්‍රණයකට ප්‍රගතිශීලී විපක්ෂය එක් වෙන්නෙ නෑ. 61 වතාවක් ම මට අගමැතිකම ගන්න කියල කිව්වා. ඒ කිසිදු අවස්ථාවක දේශපාලන කුමන්ත්‍රණ සිදු කරේ නෑ. අපි බලය ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව යි.''




