The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ තබන්නේ නැහැ - ජනපති සඵත කරයි

T

The Leader Desk

September 4, 2025 • 7:26 AM

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ තබන්නේ නැහැ - ජනපති සඵත කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ “නීතිය සුරකිමු - සාමය අගයමු” තේමාව යටතේ ඊයේ (03) තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.
  • ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී.ඩබ්.ආර්.
  • කැම්බල් පොලිස්පති ධුරයට පත් වූ 1866 සැප්තැම්බර් 03 වන දින ව්‍යවස්ථාපිත වශයෙන් පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සැලකේ.
  • පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් විශාල ලෙස ප්‍රශංසාවට සහ ගෞරවයට ලක් වන බොහෝ අවස්ථා අපි දැක තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ “නීතිය සුරකිමු - සාමය අගයමු” තේමාව යටතේ ඊයේ (03) තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.

ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී.ඩබ්.ආර්. කැම්බල් පොලිස්පති ධුරයට පත් වූ 1866 සැප්තැම්බර් 03 වන දින ව්‍යවස්ථාපිත වශයෙන් පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සැලකේ. පුරා වසර 159ක් ශ්‍රී ලාංකික සමාජයට බද්ධ වෙමින් පොලිසිය පැමිණි ගමන් මඟ තුළ සාමාන්‍ය පොලිස් රාජකාරී ඉටු කිරීමේදී සහ ක්‍රියාන්විත රාජකාරීන්හි නිරතව සිටියදී දිවි පිදූ සියලු පොලිස් නිලධාරීන් සහ අමිල සේවා කාලයකින් පසු විශ්‍රාම දිවිය ගත කරන සියලු පොලිස් නිලධාරින් මෙම සුවිශේෂී දිනයේ දී අභිමානයෙන් යුතුව සිහිපත් කරනු ලැබේ.

159 වන පොලිස්  දින සැමරුම් උත්සවය සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොලීසියේ උත්තමාචාර මධ්‍යයේ අභිමානවත් ලෙස පිළිගැනුණු අතර, ආචාර සම්මාන පෙළපාළිය නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිවරයා එක් විය. ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිනාමය ප්‍රචලිත කරන සහ වික්‍රමාන්විත රාජකාරිවල නියුතු පොලිස් නිලධාරීන් වෙත ජනාධිපති වීර පදක්කම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

 

police 1
පොලිස් නිලධාරින් සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද මෙහි දී අවධානය යොමු කළ ජනාධිපතිවරයා පොලිස් නිලධාරින්ගේ ප්‍රමාණය ඉහළ නැංවීම, වැටුප් සහ දීමනා වැඩි කිරීම මෙන්ම, නව තාක්ෂණික දැනුමෙන් පිරිපුන් නූතන පොලිස් දෙපාර්තමේන්තුවක් ගොඩනැගීමට රජය කැප වී සිටින බව ද සඳහන් කළේය.

එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...

තිර අදිටනකින් මෙම දෙපාර්තමේන්තුවේ ගෞරවය සහ අභිමානය රකින්න

''අද සමාජමය අභියෝගයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ නීති විරෝධි අවිආයුධ යෙදා ගනිමින් සිදු කරන අපරාධ වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරී තිබෙනවාතම රාජකාරිය නිසි ලෙස ඉටු කරන පොලිස් නිලධාරින් ආරක්ෂා කිරීමට  රජය කටයුතු කරනවා. ඒ වෙනුවෙන් නොබියව පෙරට එන්නැයි මම ආරාධනා කරනවා.

WhatsApp Image 2025 09 04 at 8.45.57 AM 2
පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් විශාල ලෙස ප්‍රශංසාවට සහ ගෞරවයට ලක් වන බොහෝ අවස්ථා අපි දැක තිබෙනවා. ඒ ගෞරවය සහ ප්‍රශංසාව අපේ රටේ අභිමානවත් පොලිස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් විශාල පිටිවහලක් වී තිබෙනවා. එම ප්‍රශංසා සහ ගෞරවය වගේම පොලිස් දෙපාර්තමේන්තුවට යම් විවේචන සහ දෝෂාරෝපණ නොමැත්තේ නොවෙයි. ඒ නිසා වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන සියලුදෙනාගේ වගකීම වන්නේ මෙම දෙපාර්තමේන්තුවේ ගෞරවය සහ අභිමානය තිර අදිටනකින් යුතුව ආරක්ෂා කරමින් මහජනයාගේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවත් තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමයි.

වත්මන් පොලිස්පතිවරයා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට හිමි ගෞරවය සහ අභිමානය යළි අත්පත් කර ගැනීම සඳහා ඔබ සියලුදෙනා කැප වී කටයුතු කරයි කියා මම විශ්වාස කරනවා.

පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳ පළ වන ඇතැම් ප්‍රවෘත්ති එතරම් හිතකර ප්‍රවෘත්ති නොවන බව අපි දන්නවා. 84,000කට ආසන්න පොලිසියේ රාජකාරී කරන ඔබ අතරින් කිහිප දෙනෙක් අතින් සිදු වන සිදුවීම් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අගෞරවයක් ගෙන දෙන බව මතක තබා ගත යුතුයි. තමන් විසින් කරන සමාජ විරෝධි, නීති විරෝධි ක්‍රියාවක් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අගෞරවයට පාත්‍ර වන බව මතක තබා ගත යුතුයි.

සොයාගත නොහැකි සෑම අපරාධයක් පිටුපස ම දේශපාලන බලය...
 

අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඉතා ශක්තිමත් පොලිස් දෙපාර්තමේන්තුවක්. ලංකාවේ ඕනෑම ආන්දෝලනයට තුඩු දෙන සිදුවීමක් ඉතා වේගයෙන් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔබ සමත් වී තිබෙනවා. ඒ නිසා ඉතා දක්ෂ පොලිස් නිලධාරීන් අප සතු ව සිටිනවා. ඒ වගේම දක්ෂතාව පමණක් නො ව, තමන් හමුවේ තිබෙන අභියෝග මතින් නිර්භීත ව පියමන් කිරීමට අවශ්‍ය ධෛර්යය සහ කැපවීම ඔබට තිබෙනවා. එහෙත්, අපේ රටේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන සහ අපරාධ තිබෙනවා. එම ඝාතන සහ අපරාධ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ අසමත් වීම නිසාද? එය මම කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ.

 

අපේ රටේ සොයා ගැනීමට නොහැකි වී තිබෙන අපරාධ හෝ ඝාතන සොයා ගැනීමට නොහැකි වී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ අදක්ෂභාවය නිසා හෝ කැප වීම නොමැතිකම නිසා නොවේ. සොයාගත නොහැකි සෑම අපරාධයක් පිටුපසම දේශපාලන බලය තිබුණා. පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොන තරම් වුවමනාවකින් සහ කැපවීමකින් එම විමර්ශන දියත් කිරීමට උත්සාහ කළ ද දේශපාලන බලය විසින් එය අඩපණ කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. අඩපණ කළා පමණක් නොව එම විමර්ශනවල නිරත වූ නිලධාරීන් හඹා ගෙන ගොස් පළිගැනීමේ සංස්කෘතියක් තිබුණා. නිවැරදිව රාජකාරිය ඉටු කිරීම, පළිගැනීමට හේතුවක් බවට පත් වූ ඉතිහාසයක් තිබෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ එවැනි දෙයක් සිදු නොවන බවට මම ඔබට සහතික වෙනවා. ඔබ ඔබේ රාජකාරිය රට වෙනුවෙන් සහ මහජනතාව වෙනුවෙන් ඉටු කරන්න නොබියව ඉදිරියට එන්න.

 

කාලය විසින් ඝාතන කිසිවක් සුජාතභාවයට පත් කරනු නොලැබේ

ඒ වගේම ඇතැම් අය, මේ අපරාධ සහ ඝාතන වසර 15ක් ගිය විට ශුද්ධ වන බවට සංකල්ප ගොඩනඟන්න උත්සාහ කරනවා. එම ඝාතන කිසිවක් කාලය විසින් සුජාතභාවයට පත් කරන්නේ නැහැ. අපරාධ කිසිවක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ දිය යුතු නැහැ. එම අපරාධවලට අදාළ සැකකරුවන් තවමත් නීතිය හමුවට පැමිණ වීමට නොහැකි වී තිබෙනවා නම්, එමගින් කිසිසේත්ම අපරාධය ශුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපරාධයට හිමි දඩුවම කවදාද? කොතැනද? කියා භේදයකින් තොරව දඩුවම් ලබා දීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා.

නීතිය ඉටු කිරීම සඳහා කාලය කිසිදු බාධාවක් නොවෙයි. ඒ නිසා පොලිස්පතිතුමා ඇතුළු සියලු නිලධාරීන්ට වගකීමක් පැවරී තිබෙනවා. මේ රටේ ජනතාව ඔබ දෙස බලා සිටිනවා.  මේ සමාජය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සඳහා ඔබගේ සේවය ඉතා සුවිශේෂයි. ඔබගේ රාජකාරිය නොවෙන්න මේ සමාජය මේ ආකාරයෙන් පවතින්නේ නැහැ. ඒ නිසා සමාජයේ යහපැවැත්ම සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඔබගේ කාර්යභාරය ඉතා වැදගත්.

එක්කෝ හරියට කරන්න! බැරි නම් යන්න! නැත්නම් යවනවා!

අද අපේ රට මහ වසංගතයකට ගොදුරු වී තිබෙනවා. නගරබදව පැවති මත්ද්‍රව්‍ය උවදුර අද ඈත ගම්මාන ද ගිලගෙන තිබෙනවා. අද අපේ දරුවන් මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්ව තිබෙනවා. තරුණ ජීවිත විනාශ කරමින් පවුල් විශාල ප්‍රමාණයක් දුප්පත්භාවයේ පතුලට ම ඇද දමා තිබෙනවා. මෙම ව්‍යාපාරයට දේශපාලන මැදිහත් වීම් තිබුණු බව අපි කවුරුත් දන්නවා. ඒ සඳහා රජයේ වැදගත්ම ආයතනවල ප්‍රධානින්ගේ මැදිහත් වීම තිබුණු බව අපි දන්නවා. ඒ වගේම, පොලිස් නිලධාරින්ගේ යම් ප්‍රමාණයක ද සහයෝගය මේ සඳහා තිබූ බවට වාර්තා වී තිබෙනවා. ඔබ සිටින්නේ එම උවදුරට එරෙහිව කටයුතු කිරීමටයි. එහෙත් අතළොස්සක් එම වගකීම පැහැර හැර තිබෙන බව අකමැත්තෙන් වුවද කිව යුතු ව තිබෙනවා.

ඒ නිසා එම පැරණි පුරුද්ද අතහරින්න කියා මම නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ  නැතිනම් ඔබ රාජකාරියෙන් ඉවත් වන්න. ඔබ ස්වේච්ඡාවෙන් එය නොකරන්නේ නම් ඔබ සේවයෙන් ඉවත් කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා.

සෑම දෙපාර්තමේන්තුවකට ම එයට හිමි ගෞරවය අපි ස්ථාපිත කළ යුතුයි. ඔබ සාමාන්‍ය පුරවැසියෙක් නොවෙයි, ඔබ මේ සමාජයේ යහපවැත්මේ සමස්ත බර දෙවුරට ගෙන තිබෙනවා. ඔබ දෙස අපේ රටේ පුරවැසියන් මහා බලාපොරොත්තුවකින් බලා සිටිනවා. ඔබ එය ඉටු කරයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඔබට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව අපි දන්නවා. ඔබගේ ජීවිතය පවත්වා ගෙන යෑම වෙනුවෙන් ප්‍රමාණවත් වැටුපක් හිමි විය යුතුයි. ඒ සඳහා යම් වැටුප් වැඩි වීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබට අදියර කිහිපයකින් එම වැටුප් වැඩි වීම සිදු වෙනවා.

නව බඳවා ගැනීම් 10,000ක්  

police 2
අපේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් සාමකාමී රටක් ගොඩනැගුවොත් රට වේගයෙන් සංවර්ධනය කරා ගෙන යෑමට හැකියාව තිබෙනවා. අපරාධවලින් තොර, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වූ රාජ්‍යයක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. අපි එම රාජ්‍යය ගොඩනැගිය යුතුයි. අපි රටක් ලෙස ලබා ගන්නා ආර්ථික ජයග්‍රහණ සහ ප්‍රතිලාභ පෙරළා ජනතාවට ලබා දෙනවා. එහි ප්‍රතිඵලය ලෙස ඔබට වඩා සුවපහසු ජීවිතයක් වෙනුවෙන් ඔබට ලැබෙන වැටුප් සහ දීමනා වැඩි වෙනවා.

ඒ වගේම ඔබ විශාල දුෂ්කර රාජකාරීවල යෙදෙනවා. පැය 8 වෙනුවට පැය 14 – 16 වැඩ කරන නිලධාරීන් සිටිනවා. ඒ වගේම, නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා. අපි දැනට 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ වගේම, සහායක සේවා සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් අනුයුක්ත කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා, ඔබගේ දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ප්‍රමාණාත්මක වැඩි කිරීම් සිදු කරනවා.

පොලිස් දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය සහ උපකරණ

වර්තමාන පොලිසිය තවදුරටත් බැටන් පොලු කරකවමින් හන්දියේ සිටින කෙනා නොවෙයි. රජාකාරිය වෙනස් නොවුණාට තාක්ෂණය සහ විද්‍යාව විසින් අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණ සමඟ රාජකාරිය ඉටු කරන ආකෘති වෙනස් වී තිබෙනවා. අද බොහෝ දේ තාක්ෂණය හරහා ඉටු කර ගැනීමට හැකි වී තිබෙනවා. ආණ්ඩුවක් ලෙස ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා . අපේ රට ඩිජිටල්කරණයේ ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණක් අපට තිබෙනවා. එහිදී, පොලිස් දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය සහ උපකරණ ලබා දීමට අපි සූදානම්.

අපිට නූතන පොලිසියක් අවශ්‍යයි. ජාත්‍යන්තරය සමඟ එක හා සමාන ලෙස, වෘත්තිමය ගෞරවය පෙන් විය හැකි පොලිස් දෙපාර්තමේන්තුවක් අපි හදනවා.  ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය, දැනුම සහ පුහුණුව ලබා දෙනවා. ඒ වගේම ආකල්පමය වෙනසක් සහිතව අපි වැඩ කරමු. මහජනතාවට සමීප පොලිස් දෙපාර්තමේන්තුවක් අපට අවශ්‍යයි. අපි සියලුදෙනා එක් වී එම නූතන පොලිසිය ගොඩනගමු කියා මම ආරාධනා කරනවා. ගෞරවය, විශ්වාසය සහ මහජන ළෙන්ගතුකම ගොඩනගා ගත් පොලිස් දෙපාර්තමේන්තුවක් ලෙස අපි 160 වන පොලිස් දිනය සමරමු.''

 



කථානායක ජගත් වික්‍රමරත්න, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන අය සහ ත්‍රිවිධ හමුදාපතිවරු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.  

(සටහන - ජයසිරි අලවත්ත)

police 3

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...