* ප්‍රථම වරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට අධ්‍යක්ෂ ජනරාල්වරියක්
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, වෙනත් අමාත්‍යංශයක් යටතට පත් කරන ලෙසට ප්‍රබල රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකින් එල්ලවන බලපෑම් හමුවේ, එම ආයතනය ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍යංශයය යටතට පත්කිරීම සඳහා ආණ්ඩුව විසින් තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය මේ සදහා නායකත්වය සපයමින් සිටින්නේ, එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මෙම තීරණය ඔස්සේ යම් ධනාත්මක ප්‍රවේශයක් ලබා ගැනීමට හැකිවෙතැයි ආණ්ඩුවේ විශ්වාසය මතය.
කෙසේවුවද මෙහි ඇති විමතියට කරුණ වන්නේ, රාජ්‍ය නොවන සංවිධාන නිසි අධීක්ෂණයක් යටතට පත් කළ යුතු බවට නිර්දේශ 27 කින් යුතු වාර්තාවක් 2006 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු වලට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමේ සුදානමයි.
2008 දෙසැම්බර් 08 දා විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාව මෙතැනින්
මේ අතර ආණ්ඩුවේ යෝජිත ක්‍රියාමාර්ගය කෙරෙහි ප්‍රතිචාර දක්වා ඇති ප්‍රජාතන්ත්‍රවාදය, ආන්තීකරණය හා සංහිඳියාව වැනි විෂයන් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම නියෝජිතයන් මෙම තීරණය පිළිබඳ සමාජ මාධ්‍ය හරහා සතුට පළ කර ඇත්තේ, "අපිට දැන්වත් නිදහසේ වැඩකටයුතු කරගන්න පුළුවන් වේවී" යැයි සඳහන් කරමිනි.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ගෙන් දැඩි විරෝධයක්
කෙසේවුවද ඇතැම් සමාජ ක්‍රියාකාරීන්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට ගෙන ඇතැයි කියන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විවේචන මතුකර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරගෙන යනු ලබන මුදල් විශුද්ධිකරණය හා 'ත්‍රස්තවාදයට' මුදල් සැපයීම වැළැක්වීම සඳහා වූ ජාතික වැඩපිළිවෙලේ විශාල කාර්යභාරයක් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට පවරා, ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් සිටින මොහොතක මෙසේ එම කාර්යාලය වෙනත් අමාත්‍යංශයක් යටතට පත්කිරීම තුල එම වේගවත් වැඩපිළිවෙල අඩපණ වනු ඇති බවට එවැනි සිවිල් ක්‍රියාකාරිකයින් සැක පළ කරති. ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම කිරීමටද මෙයින් විශාල බලපෑමක් සිදුවිය හැකි බවට ඔවුන් තර්ක කරති.
එම ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමක්, නිරන්තර හා අඛණ්ඩ අධීක්ෂණ ක්‍රියාවලියක් හදුන්වා දීමත්, අරමුණු වලින් බැහැරව කටයුතු කරන හා කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවන රාජ්‍ය නොවන සංවිධාන අහෝසි කිරීම සඳහාත් අවශ්‍ය ප්‍රතිපාදන ඉහත කෙටුම්පතට ඇතුළත් කර ඇත. එය රටේ නීතීය හා විධානය සම්බන්ධයෙන් වූ පියවරක් ලෙස සැලකේ. මෙම කාර්යාංශය වෙනත් අමාත්‍යංශයක් වෙත පැවරීම තුළ එම ක්‍රියාවලි ලිහිල් වීමක්ද සිදුවනු ඇති බවට ද එම පිරිස් තර්ක කරති.
රජය විසින් මෙම තීරණය ගැනීමට පෙර, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ද කැඳවා ඔවුන්ගේ අදහස් ද ලබාගෙන ඔවුන්ගේ ද අදහස් සහ යෝජනා සලකා බලා මෙම තීරණය ක්‍රියාත්මක කිරීම හෝ වෙනස් කිරීම රටේත්, මහජනතාවගේත් සුභ සිද්ධිය වනවා සේම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද රුකුලක් වනු ඇති බව ඔවුන්ගේ ස්ථාවරයයි.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට අධ්‍යක්ෂ ජනරාල්වරියක්

ලසඳමාලා මුහන්දිරම්ගේ
මාස හයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවැති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රෙජිස්ටර් තනතුර සඳහා එම කාර්යාලයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන ලසඳමාලා මුහන්දිරම්ගේ පත් කිරීම සඳහා පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරණයක් මෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරණීයකද වේ.
ඇය රාජ්‍ය සේවය තුළින් නිකැළැල් සේවා ඉතිහාසයක් ඇති නිලධාරිනියක් ලෙසව් ද සැලකේ.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වසර තුනකට අධික කාලයක් පළපුරුද්ද ලබා ඇති ඇය, මෙම අභියෝග සඳහා සංයමයෙන් හා උපක්‍රමශීලීව මුහුණ දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේය.




