මන්නාරම් දුපතේ මහාපරිමාණයෙන් කෙරෙන ඛනිජ වැලි කැනීම් සහ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් වහාම අත් හිටුවන ලෙස බලකරමින් මාසයකට අධික කාලයක් අඛණ්ඩ විරෝධතාවයේ නිරත පළාත්වාසීන් එම සැකය පළ කර ඇත්තේ ජනපතිගේ පොරොන්දු ප්‍රකාරව සැප්තැම්බර් 1 වැනිදා මන්නාරමට පැමිණි නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් දැනුම්දීම වෙනුවෙන් සිදු කළ මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම් දුපතේ විනාශකාරී ලෙසින් ස්ථාපිත කර ඇති සුළං විදුලි බලාගාර වලට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් දියත් කර ඇති අරගලය හමුවේ එම භුමියේ අලුතින් වැඩ කටයුතු අරඹා ඇති සුළං බලගාර දෙකක් සම්බන්ධයෙන් යළි සලකා බැලීමට අගෝස්තු 13 වැනිදා ජනාධිපතිවරයා පොරොන්දු වී තිබුනි.
මන්නාරම පුරවැසි කමිටු කාර්යාලයේදී සැප්තැම්බර් 2 වැනිදා මාධ්‍ය හමුවක් කැදවමින් මන්නාරම් දිස්ත්‍රික් මහජන සංවිධාන සංගමයේ සභාපති වී.එස්. සිවකරන් හෙළි කර තිබුනේ විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු කණ්ඩායමක් සැප්තැම්බර් 1 වැනිදා මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විරෝධතා කරුවන් මුණගැසී දූපතේ සංවර්ධන ව්‍යාපෘති වලට මහජනතාවගෙන් එල්ල වී තිබෙන විරෝධය හා ඔවුන් මුහුණ දි සිටින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වු බවයි.
මන්නාරම් දිස්ත්‍රික් මහජන සංවිධාන සංගමයේ සභාපති වී.එස්. සිවකරන් එහිදී චෝදනා කළේ මන්නාරම් දූපත් ප්‍රදේශයේ සුළං බලාගාර සහ ඛනිජ වැලි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස එම සාකච්ඡාවේ දී මන්නාරම් වාසීන් කළ ඉල්ලීමට විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු ඉහල පෙලේ නිලධාරීන් අවධානය යොමු නොකළ බවටයි.
"ඔවුන්ගේ තර්කයේ පදනම උනේ දැනටමත් ඉදිකර ඇති සුළං ටර්බයින් 30 සහ අනාගතයේදී ඉදිකරනු ලබන සුළං බලාගාර නිසා ඇතිවන ගැටළු විසඳන්නේ කොහොමද කියන එක තමයි. මන්නාරම් දූපත් ප්‍රදේශයේ සුළං බලාගාර සහ ඛනිජ වැලි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස අපි කළ ඉල්ලීමට ඔවුන් අවධානය යොමු කරේ නැහැ. අපගේ චෝදනා ගැනද ඔවුන් සැලකිලිමත් වූයේ නැහැ. ඔවුන්ගේ අදහස් සහ තර්ක පදනම් උනේ පවතින ගැටළු විසඳා මෙහි සුළං බලාගාර ඉදිකරන්නේ කොහොමද කියන එක."
සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වින්දිතයන් බවට පත්ව සිටින මන්නාරම්වාසීන්ගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාවක් එම නියෝජිතයන්ට නොතිබුන බව අවධාරණය කරන සිවිල් සංවිධාන නියෝජිතයා ඔවුන් විසින් ජනාධිපතිවරයාට දෙනු ලබන නිර්දේශ සම්බන්ධයෙන් දැඩි ලෙස සැක මතු කරයි.
වී.එස්. සිවකරන්
"මන්නාරම් දූපතෙන් ව්‍යාපෘති දෙක ඉවත් කිරීම, ජනතාවගේ හැඟීම් තේරුම් ගැනීම සහ ඒවා ජනතාවට ඇති කළ හැකි බලපෑම සලකා බැලීම පිළිබඳව ඔවුන්ට අදහසක් තිබුනේ නැහැ. ඒ නිසා ඔවුන් නිර්දේශ කරන ලද වාර්තාව කොහොම එකක් වෙයිද කියලා අපිට සැකයක් තියනවා. ඔවුන්ගේ වාර්තාව මත පදනම්ව තමයි ජනාධිපතිවරයා අවසන් තීරණයකට එළඹෙන්නේ කියලා ඔවුන් කිව්වා."
විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ සහ ඇතැම් බලසම්පන්න පුද්ගලයන්ගේද සහාය ඇතිව මන්නාරම් දුපතේ ඛනිජ වැලි ටොන් ලක්ෂ ගණනක් හාරා ගැනීම සඳහා බහුජාතික සමාගම් තුනක් වීරිය දරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ 2025 වසරේ ජනවාරි මසදී හෙලි කර තිබුනි.
"ඔරයන් කියන සමාගමත්, මාස් මෙට්ල් ඇන්ඩ් මිනරල්ස් කියන සමාගමත්, ඕස්ට්‍රේලියන් සමාගමක් විදිහට තියන ඉල්මනයිට් සෑන්ඩ්ස් කියන සමාගම් තුනම මේ අවස්ථාව වන විට මේ ප්‍රදේශයේ ඛනිජ වැලි කැනීම එහෙම නැතිනම් ඉල්මනයිට් වැලි කැනීම සදහා සියළු කටයුතු සකස් කරමින් තිබෙනවා."
මන්නාරම් දිස්ත්‍රික් මහජන සංවිධාන සංගමයේ සභාපති වී.එස්. සිවකරන් පෙන්වා දෙන්නේ සුළං බලගාර සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කල මාසයක කාලය තුලද ඛනිජ වැලි කැනීමේ සමාගම් ඔවුන්ගේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන ගිය බවයි.
"ඛනිජ වැලි කැණීම් සිදු කරන සමාගම් දෙක මේ මාසය තුළ පවා ඔවුන්ගේ වැඩ නතර කර නැහැ. ඔවුන්ගේ කාර්යාල දෙක මේ මාසේ තුලත් ක්‍රියාත්මක උනා. එමනිසා රජය පවසන දේ එකක් භූමියේ සිදුවන දේ තවත් එකකි."
එන්. එම්. ආලම්
මන්නාරම් දිස්ත්‍රික් ධීවර සමුපකාර සංගමයේ සභාපති එන්. එම්. ආලම් මාධ්‍ය හමුවේදී කියා සිටියේ සැප්තැම්බර් 1 වැනිදා පැවැති සාකච්ඡාවට සහභාගී වූ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් සුළං ටර්බයින් 14 ඉදිරිකිරීම සදහා එවන ලද නියෝජිතයන් ලෙස ඇඟවෙන ආකාරයෙන් හැසිරුණු බවයි
"පැමිණි විශේෂඥ කණ්ඩායම මේ සියලු කරුණු පිළිබඳව ඇහුවත් ඔවුන් අදහස් දැක්වූයේ සුළං ටර්බයින් 14 ක් ඉදිරිකිරීම සදහා තමයි අපි මෙහෙට එව්වේ වගේ කියන විදියට."
ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට මන්නාරම් දුපතේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අගෝස්තු 13 වැනිදා ජනාධිපතිවරයා තීරණය කර තිබුනේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.
එම සාකච්ඡාවේදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු තිබේ.
සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීම යැයි පැවසු බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.
එම නිසා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශව එකඟතාවයන්ට පැමිණිය යුතු බවත් සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙන ප්‍රදේශයේ ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විසඳුම් ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කර ඇත.
මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයන් ඇතුළු ජනතාව එහිදි පෙන්වා දී තිබුනේ ඉල්මනයිට් හැරීමේ ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් ද එල්ල වන බවයි.
ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියකින් තොරව එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව අවධාරණය කළේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවට ජනාධිපතිවරයා සහතික වී තිබුනි.
කෙසේවෙතත්, ජනාධිපතිවරයාගේ සහතිකය සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ට ඇත්තේ අවිශ්වාසයකි. ඔවුන් අවධාරණය කරන්නේ රජය පවසන දේ හා භුමියේ සිදුවන දෙය අතර පරස්පරයක් පවතින බවයි.
ප්‍රදේශවාසීන්ගේ ජනජීවිතයට හානිකර ලෙසින් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන බවට ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයන් ඡන්ද වේදිකාවේ දුන් පොරොන්දු ඉටු නොකළොත් කවර බාධක මධ්‍යයේ වුව අරගලය අත් නොහරින බව මාන්තායි බටහිර, බහුජන සංවිධානයේ ලේකම් අයියම්පිල්ලෙයි ගනේසපති දැඩි ලෙස කියා සිටී.
උතුරේ දෙදින නිල සංචාරයක යෙදුනු ජනාධිපතිවරයා ගැටුම්කාරී ප්‍රශ්නයකින් දැවෙන මන්නාරමට පා තබා නැත.




