අද සිට ඔක්තෝබර් 8 වනදා දක්වා පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එරටට ගොස් සිටියි.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා වේලාවෙන් අද (08) පස්වරුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසි වාරය අමතන ලදී.
එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වල දී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංගණයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය විජිත හේරත් එම සමුළුවේදී අවධාරණය කර සිටියේ ය.

තවද, මෙම සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවය.
එමෙන්ම ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා ලෙස අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටි අතර වගවීමේ යාන්ත්‍රණයන් ඇතුළු පරිපාලනය පොරොන්දු ඉටුකිරීමට අමතර කාලයක් ද ඉල්ලා සිටියේය.
සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදී නොමැති බවට සඳහන් කර ඇත.
සැසිවාරය අතරතුර ඒ ඒ රටවල, තරුණයින්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් ආදි මාතෘකා යටතේ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එසේම මියන්මාරය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සුඩානය, පලස්තීනය, සිරියාව ආදි රටවල මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කිරීමට නියමිතය.
මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.
එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය හමුදාවේ හා අනෙකුත් ආරක්ෂක අංශවල බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව ඇති බවය.
එමෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට කටයුතු කිරීමට බලය හිමි වන රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීමටද මෙමගින් නිර්දේශ කර තිබේ.

කෙසේවෙතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබුණි. එමගින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය පෙන්වා දී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන නොමැති බවය. ඒ යටතේ ක්‍රියාත්මක වන වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවත්, දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවත් එමගින් පෙන්වා දී ඇත.
සංචාරය අතරතුර විජිත හේරත් අමාත්‍යවරයා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් සභාගත කළ ප්‍රකාශය මෙතැනින් බලන්න.




