The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අයිස් හදන බඩු ආවේ කොහොම ද?

T

The Leader Desk

September 9, 2025 • 6:19 AM

අයිස් හදන බඩු ආවේ කොහොම ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන මෙම රසායනික ද්‍රව්‍ය පළමු වරට පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදා මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක වළදමා තිබියදී ය.
  • මේ අතර විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ පහක්, T 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 17ක් බෝරා 12 ගිනි අවි උණ්ඩ තුනක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
  • මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරන ලදී.
  • එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි වන අතර මේ වන විට ඔහුව රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන මෙම රසායනික ද්‍රව්‍ය පළමු වරට පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදා මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක වළදමා තිබියදී ය.

මේ අතර විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ පහක්, T 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 17ක් බෝරා 12 ගිනි අවි උණ්ඩ තුනක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරන ලදී.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි වන අතර මේ වන විට ඔහුව රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

තැන තැන හමුවූ සැකකටයුතු රසායනික ද්‍රව්‍ය

සංවිධානාත්මක අපරාධකරුවකු වන නැදුන්ගොඩගේ නිර්මල ප්‍රසංග හෙවත් 'බැකෝ සමන්' නමැත්තා පසුගිය සතියේදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් සමගයි.

මෙරටට රැගෙන ආ එම සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අතර සිටින බැකෝ සමන් නමැත්තා පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි.

 

මේ වන විට රැඳවුම් නියෝග යටතේ කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ රදවාගෙන සිටින 'බැකෝ සමන්' නමැත්තාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ලද තොරතුරකට අනුව මෙම සැකකටයුතු රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසියට හැකිවුයේ පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදාය. මෙම රසායනික ද්‍රව්‍ය ඉකුත් ජනවාරි මස 29 වනදා කොළඹ සිට කන්ටේනර් දෙකක අසුරා රැගෙනවිත් කලුවගහයාය පාර, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ මාර්ගය අයිනේ ගබඩාකර තිබී පසුව අගෝස්තු මස 31 වනදින ගෙවත්තකට රැගෙනවිත් වළ දමා තිබිණි.

 

එක් පොලිතින් කවරයක් කිලෝ 500 ක බරින් යුතු බවත්, එවැනි කවර 22 ක් පමණ මේ අයුරින් වලදැමු බවත් JCB යන්ත්‍රයේ ක්‍රියාකරු පොලිසියට පවසා තිබේ.

මේ අතර තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් (සැප්තැම්බර් මස 07) පොලිසියට හමුවිය.

මේ අතර ඊයේ (සැප්තැම්බර් 08) කඳාන ප්‍රදේශයේ ගෙවත්තක තිබියදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තවත් තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.

Kandana
සිද්ධියට නම ගෑවුණු පොහොට්ටුවේ දේශපාලඥයා

මෙම සැකකටයුතු රසායනික ද්‍රව්‍ය වළ දමා තිබුණේ බැකෝ සමන් නමැත්තාගේ සමිපතම මිතුරෙකු වන ජේවික්‍රම මනම්පේරිගේ සම්පත් ප්‍රිති විරාජ් යන අයගේ ගෙවත්තේ ය.

 

විජේවික්‍රම මනම්පේරිගේ සම්පත් ප්‍රිති විරාජ් යන සැකකරු 1996 වසරේ ජනවාරි මස 09 දින පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව තිබු අතර 2009 වසරේ අගෝස්තු මස 12 වන දින නාරාහේන්පිට දි තවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනකු සමග එක්ව රු.100500/ වටිනා සහල් හා දේපල කොල්ලකෑමක් හේතුවෙන් වැඩ තහනමට ලක් කර ඇත.

 

ඔහු දිර්ඝ කලක සිට බැකෝ සමන් නමැත්තා සමග සමිප සම්බන්ධතා පවත්වා ඇති අතර බැකෝ සමන් ඇතුළු අපරාධ කණ්ඩායම මෙරටට රැගෙන ආ දිනයේ සිට ඔහු ප්‍රදේශය හැර ගොස් සිටි බව වාර්තා විය.

මෙම සැකකරු 2025 වර්ෂයේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අගුණුකොළපැලැස්ස ප්‍රාදේශිය සභාවේ තලාව කොට්ඨාශයට තරග කර පරාජයට පත්ව තිබේ.

'කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් 02 වරායෙන් එළියට ආවේ කොහොමද' ?

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් බවත්, මෙම කරුණත් සමඟ ප්‍රශ්න සහගත කරුණු රැසක් හෙළිදරව් වන බැවින් මෙහි සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

 

මෙහි බරපතල ගැටලුව වන්නේ මෙම කන්ටේනර් 02 වරායෙන් එළියට ආවේ කෙසේද යන්න බවත්, ජාත්‍යන්තර බුද්ධි අංශ හරහා නිරතුරුවම අප රටේ කුඩු සහ කුඩු ව්‍යාප්තිය ගැන තොරතුරු ලබා දෙන බවත්, මෙම කන්ටේනර් 02 පිළිබඳව ද ජාත්‍යන්තර බුද්ධි අංශ අප රටට තොරතුරු දැනුම් දුන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත්, එම තොරතුරු ලැබුණු දිනයත්, එම තොරතුරු සම්බන්ධයෙන් පරික්ෂණ කළ අය මෙන්ම එම පරීක්ෂණ පැවැත්වූ කාලවකවානුවත් මෙම පරික්ෂණවලින් පසුවත් මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් දෙක නිදහස් වුවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (සැප්තැම්බර් 08) පැවැති සාකච්ඡාවකදීය.

මෙම කන්ටේනර් නිදහස් කළා නම් එලෙස නිදහස් කිරීමේ ක්‍රියාවලියට හවුල් වූ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ සත්‍ය හෙළිදරව් කළ යුතු බවත්, එය රජයේ වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාත්‍යන්තර බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කළාට පසු එම කන්ටේනර් හදුනා ගෙන පරීක්ෂා කළේද යන්න දැනගැනීමට අවශ්‍ය බව සහ මෙම කන්ටේනර් නිදහස් කිරීමට පදනම් වූ කරුණු මෙන්ම පසුගිය දා පරීක්ෂා කිරීමකින් තොරව මුදා හැරි කන්ටේනර් 323ට ඒවා අයත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවය.

එමෙන්ම මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳ සියලු තොරතුරු රටට හෙළිදරව් කළ යුතු බවත්, මෙම කුඩු කන්ටේනර් නිදහස් වීම තුළ ප්‍රශ්න සහගත කරුණුවලට සත්‍ය හෙළිදරව් කළ යුතු බවත්, ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව මත් රකුස් ව්‍යාප්තිය පරාජය කිරීමට කටයුතු කළ යුතු බවත් මෙම ගමනේදී සත්‍ය තොරතුරුවලින් ජනතාව දැනුවත් කිරිම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.



බහාලුම් සම්බන්ධයෙන් පොලිසියෙන් කරුණු පැහැදිලි කිරීමක්

 

රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323ක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ විසින් ගෙනවන ලද මිද්දෙණියෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධ නොමැති බව පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුඩ්ලර් පැවසුවේ අදාළ බහාලුම් දෙකේ සඳහන් කර ඇති අංක සහ රේගුවෙන් නිදහස් වූ ආනයනික බහාලුම් 323ට අදාළ අංක අතර කිසිදු සමානකමක් නොමැති බවය.

"2025 වසරේ බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන යම් මතයක් සමාජයේ ගියා. නමුත් මේ බහාලුම් දෙක ඊට සම්බන්ධ නැහැ. මොකද ඒ බහාලුම්වල අංක සමග අපි පරික්ෂා කරලා බැලුවා. මොකද හේතුව ඒ බහාලුම් 323 සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලැබුවා. ඒ ඒ අනුගත වූ අංකවලට පරිභාහිර වෙනත් බහාලුම් දෙකක්. ඒ නිසා ඒ බහාලුම් 323ට මේ බහාලුම් දෙක කිසිදු සබඳතාවක් නැහැ." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළේය.



රාජපක්ෂවරුන්ට මඩ ගහන එක කණගාටුදායකයි - නාමල් රාජපක්ෂ

මේ අතර පසුගිය සැප්තැම්බර් මස 06 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම්වලට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බවය.

රත්තරන් අශ්වයින්ගේ කතා, ඩුබායි මැරියට් හෝටලයේ කතා, උගන්ඩාවේ සල්ලි කතා, රොකට් කතා ඇතුළු මඩ ගැසීම් රැසක් සිදු කළ බවත් වර්තමානයේදී කන්ටේනර් සිද්ධියක් මුල් කරගෙන මඩ ගැසීම යළි ආරම්භ කර තිබෙන බවත් මේ සියලුම කාරණා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.

කන්ටේනර් සිද්ධියේදී මීට පෙර ජනවාරි මාසයේ වරායේ කිසිදු පරීක්ෂාවකට ලක් නොකර පිටකළ කන්ටේනර් 323 කොහේ තිබෙනවාද කියා ආණ්ඩුව දන්නේ ද සහ ඒවායේ ගෙනා බඩු භාණ්ඩ මොනවාද කියා හෙළි කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.

එම කන්ටේනර් සිද්ධිය මුල් කරගෙන ආණ්ඩුව නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කිරීම් සිදුනොකරන අතර විපක්ෂය ඵල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබා නොදී රාජපක්ෂවරුන්ට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කිරීම කණගාටුදායක බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.




මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත්තේ වත්මන් රජය යටතේ නිදහස් කෙරුණු බහාලුම් 323 අතර තිබූ බහාලුම් දෙකකින් දැයි විපක්ෂය මේ වන විට ආණ්ඩුවෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටිති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ මෙලෙසයි.



විපක්ෂයෙන් මතු කරන මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර ගෙන් කළ කරුණු විමසීමකදී ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරය මතු පළවේ.

 


පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කරුණු දැක්විය.


ප්‍රබන්ධ නිර්මාණය කිරීම මත යැපිමට විපක්ෂය සෑමවිටම උත්සහ දරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මෙහිදී කියා සිටියේය.


මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මේ අතර මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වලදමා තිබු ඉඩමේ හිමිකරුගේ සොහොයුරිය වන කාන්ති නිර්මලා නමැත්තිය ඊයේ  (සැප්තැම්බර් 08) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළාය.

එහිදී එම කාන්තාව කියා සිටියේ ආන්දෝලනයට ලක් වූ මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක රසායන ද්‍රව්‍ය ගොඩ ගැනීමක් සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම් වලට තම සහෝදරයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අසාධාරණ හේතුන් මත බවයි.

එහිදී එම කාන්තාව කියා සිටියේ පොලිසිය විසින් විවිධ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු විමසන බවත් එය දේශපාලන පලිගැනීමක් බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා සිදුකළ අනාවරණය

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පසුගියදා ප්‍රකාශ කළේ කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් මුදල් යොදවා නුවරඑලිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

"දීර්ඝ කාලයක් මේ රටේ අපරාධ සංස්කෘතියක් වර්ධනය වෙලා තිබුණා. ඒ සංස්කෘතිය තුළ නිර්මාණය වූ ක්‍රියාකාරකම් තමා මෑතකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මගින් හෙළිවෙලා තියෙන්නේ. මේ වෙද්දී මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු ගෙන්වාගෙන ගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අත්අඩංගුවට ගත්ත අපරාධ කල්ලි සාමාජිකයින් යම් යම් අනාවරණයක් සිදුකරමින් තිබෙනවා දේශපාලනඥයින් ඔවුන් හදා වඩාගෙන ඔවුන් හා සබඳතා පවත්වමින් ඔවුන්ගේ කාර්යයන් ඉටුකරගත් ආකාරය ගැන. මේ තොරතුරු පිළිබඳව ඉදිරියේදී ගැඹුරු සහ විදිමත් විමර්ශන හරහා සනාථ කරගත යුතු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ගැඹුරින් සිදුකරමින් පවතිනවා." නවීකරණය කරන ලද කුරුඳුවත්ත පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආනන්ද විජයපාල අමාත්‍යවරයා එලෙස අදහස් දක්වා සිටියේය.



(මුලාශ්‍ර | නෙත් නිව්ස් + බීබීසී සිංහල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අයිස් හදන බඩු ආවේ කොහොම ද? | The Leader