The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රාජිත ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළ හේතුව මෙන්න

T

The Leader Desk

September 9, 2025 • 7:33 AM

රාජිත ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළ හේතුව මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, සැකකරු රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉන් ඇපකරුවන් දෙදෙනෙකු ළඟ ම ඥාතීන් විය යුතු බවටත් නියම කර සිටියේ ය.
  • සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියම කරන ලදී.
  • කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු "සී වූ "නමැති කොරියානු සමාගමට පැවරීමේදී පාරිසරික අගැයීම් වාර්තා යනාදිය ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඇය පෙන්වා දුන්නා ය.
  • ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් මෙම සැකකරු ලබන 23 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, සැකකරු රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉන් ඇපකරුවන් දෙදෙනෙකු ළඟ ම ඥාතීන් විය යුතු බවටත් නියම කර සිටියේ ය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියම කරන ලදී.

 

මෙම පැමිණිල්ල අද (සැප්: 09) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුගෙන් ඉකුත් තුන්වන දා අල්ලස් කොමිසමේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශය තුළින් මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ කොරියානු සමාගමේ අනුග්‍රහය ඇතිව විදේශ සංචාරයක නිරත වී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවා ය.

 

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු "සී වූ "නමැති කොරියානු සමාගමට පැවරීමේදී පාරිසරික අගැයීම් වාර්තා යනාදිය ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඇය පෙන්වා දුන්නා ය.

ඒ අනුව මෙම සැකකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඊට අදාළව එම සංචාරයට සහභාගි වූ මෙම සැකකරුගේ ඥාතීන් හා ධීවර වරායේ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව ඇය කියා සිටියා ය.

ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් මෙම සැකකරු ලබන 23 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

රාජිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගෙන් දැඩි විරෝධයක්  

එම ඉල්ලීමට සැකකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දැඩි විරෝධය පළ කළේ ය.

 

සැකකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළේ, සිය සේවාදායකයා අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය සහිතව විදේශ සංචාරයක නිරත වූ බවට කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු එහිදී නිරත වී ඇත්තේ නිල සංචාරයක් බවත් සඳහන් කළේ ය.

 

ලෝක ආහාර සංවිධානයේ ප්‍රධාන දේශනයක් සිදුකිරීම සඳහා සැකකරු සිය භාර්යාව සමග පමණක් මෙම සංචාරයේ නිරත වී ඇති අතර එය නිල සංචාරයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද ඒ පිළිබඳව පැහැදිලිව කරුණු දක්වා තිබෙන බව සඳහන් කර සිටියේ ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සංචාරය පිළිබඳව තොරතුරු අනාවරණය වුණේ මෙම සැකකරුගේ ප්‍රකාශය සටහන් කළ අවස්ථාවේදී දැයි විමසීය.

ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් "නැහැ ස්වාමීනී. ඊට පෙරත් කරුණු හෙළිවෙලා තිබුණා. සැකකරුගේ ප්‍රකාශයෙන් ඒ බව තවදුරටත් තහවුරු වුණා," යනුවෙන් සඳහන් කළේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන සාක්ෂිකරුවන් වන අසේල සංජීව පෙරේරා සහ උචිත අනුරාධ යන අයගේ ප්‍රකාශවලින් සැකකරුගේ මෙම විදේශ සංචාරය රාජකාරීමය සංචාරයක් බවට කරුණු දක්වා තිබෙන බවත් කියා සිටියේ ය.

 

සැකකරු අධිකරණය මගහැර තිබෙන බවට අල්ලස් කොමිසම එල්ල කර තිබෙන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, ඔහු විසින් සිදු කරනු ලැබුවේ නීතියෙන් තමන්ට හිමි වී තිබෙන ප්‍රතිපාදන උපයෝගී කරගෙන විවිධ අපේක්ෂිත ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමණක් බව සඳහන් කළේ ය.

 

නීතිඥවරුන්ගේ උපදෙස් මත ඔහු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බවත් නීතියේ සඳහන් ප්‍රතිපාදන අනුගමනය කිරීම අධිකරණය මගහැරීමක් වන්නේ කෙසේදැයි මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කළේ ය.

මෙම සංචාරයට සැකකරු සමග ඔහුගේ භාර්යාව පමණක් සහභාගි වී ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම විමර්ශනය ආරම්භ වුණේ, මීට වසර 13කට පෙර බවත් එතැන් පටන් මේ දක්වා මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිදු කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් පැවසීය.
ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විදේශ සංචාරය සම්බන්ධයෙන් අදාළ කොරියානු සමාගමේ අධ්‍යක්ෂ වරුන්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන් කළේ ය.

එහිදී සැකකරු ඔහුගේ ඥාතීන් සමඟ විදේශ සංචාරයක නිරත වී ඇති බවත් එම සංචාරය අදාළ කොරියානු සමාගමේ අනුග්‍රහය යටතේ සිදු වූ බවට කරුණු තහවුරු කරගත් බවත් එම නිලධාරින් වැඩිදුරටත් අධිකරණයට හමුවේ කියා සිටියේ ය.

 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, "මෙම සැකකරු විදේශ සංචාරයක නිරත වී තිබෙන බව ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වුණා. එම සංචාරයට සහභාගි වූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශත් සටහන් කරගෙන තිබෙනවා. එම නිසා මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය වන්නේ නෑ," යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඉන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැරීමට නියම කළේ ය.

 

ඉන් අනතුරුව නඩුව යළි ජනවාරි මස 30 වන දා කැඳවීමට ද නියම කෙරිණි.

2013 වසරේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට සැකපිට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

(උපුටා ගැනීම් -බීබීසී සිංහල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...