රජයේ ආරක්ෂක අංශ විසින් මරා දමන ලද බවට ජනාධිපති කොමිසමක් හමුවේ ප්‍රබල සාක්ෂි ගොනුවී ඇති සත්තුරුකොන්ඩාන් කුරිරු සමූහ ඝාතනයේ තිස් පස් වැනි වර්ෂ පුර්ණය දෙමළ ජනතාව විසින් මලින් සහ පහනින් මෙවරත් නැගෙනහිරදී අනුස්මරණය කිරීමට කටයුතු කරන ලදී.

දසක තුන හමාරකට ඉහත දී යුද හමුදාව විසින් ගම්මානය වටලා තම මව, පියා, නංගී, මල්ලී, සීයා, ආච්ච්, සහෝදරියගේ දරුවන් තිදෙනා ඇතුළු පවුලේ දස දෙනෙකු පැහැරගෙන යන ආකාරය සැගවී සිට බලාසිටි අයුරු සිය පැමිණිල්ල මගින් මඩකලපුවේ කොකුවිල් පොලිසියට ලියා දක්වන වෛරමුත්තු කුලන්දවඩිවේල් එමගින් ඉල්ලා සිටින්නේ ඔවුන් ඝාතනය කර වළ දැමු ස්ථානය සියැසින් දුටුවන් සිටින බැවින් සිය ඥාතීන්ගේ දේහයන් සොයා දෙන ලෙසයි.
"ඔවුන් කපා, වෙඩි තබා සත්තුරුකොන්ඩාන් බෝයිස් ටවුන් කඳවුරේ වළලා දැම්මා කියන එකට දිවි ගලවාගත් අය සාක්ෂිකරුවන් විදිහට ඉන්නවා. ඒ නිසා අපගේ ඥාතීන්ගේ දේහ සොයා ගැනීමේ අවශ්‍යතාවයක් තියනවා."
ඒ සදහා සිය ඥාතීන් ඇතුළු ගම්වාසීන් ඝාතනය කර භුමදානය කළ සත්තුරුකොන්ඩාන් බෝයිස් ටවුන් කඳවුරේ කැනීමක් සිදු කරන ලෙස ඔහු සිය පැමිනිල්ල මගින් පොලීසියෙන් ඉල්ලා තිබේ.

"අපගේ ඥාතීන් භූමදාන කරන ලද සත්තුරුකොන්ඩාන් බෝයිස් ටුවුන්හි පිහිටා ඇති ශ්‍රී ලංකා හමුදා කඳවුරේ කැණීමක් සිදු කිරීම සඳහා මම පැමිණිල්ලක් ගොනු කරමි."
විමර්ශන සිදුකෙරෙමින් පවතින බවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඉකුත් දා නම්කරන ලද සමූහ මිනීවලවල් ලැයිස්තුවේ සත්තුරුකොන්ඩාන් සඳහන් කර නොතිබිණි.
මඩකලපු දිස්ත්‍රික්කයේ සත්තුරුකොන්ඩාන් හි පනිච්චෙයිඅඩි මංසන්ධියේ ස්ථාපිත කර ඇති ඝාතනය කරන ලද්දවුන්ගෙ ස්මාරකය අසළදී 2025 සැප්තැම්බර් 9 වැනි දා සන්ධ්‍යාවේදි 35 වැනි වරටත් අනුස්මරණය සංවිධානය කර තිබුනේ 1990 වසරේ සැප්තැම්බර් 9 වැනිදා මරා දමන ලද ගම්මාන හතරක 184 දෙනාගේ ඥාතීන් විසිනි.
පාලකිඩ්නර් කොමිසම
ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1995 ජනවාරි 4 වැනිදා පත්කරන ලද විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු ක්‍රිෂ්ණපිල්ලේ පාලකිඩ්නර්ගේ සභාපතිත්වයෙන් යුත් උතුරු නැගෙනහිර පුද්ගල අතුරුදහන් කිරීම් සහ බලහත්කාරයෙන් පැහැරගෙන යාම් පිළිබඳ කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව සමුහඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන්නේ සත්තුරුකොන්ඩාන් බෝයිස් ටවුන් කඳවුරේ නිලධාරීන්ය.
යුද හමුදාව අතින් කුරිරු ලෙස සමූලඝාතනය වෙද්දී දිවි ගලවා ගැනීමට හැකි වු එකම තැනැත්තා එවක 27 වැනි වියේ පසුවූ පිල්ලෙයාර්අඩි ගමේ කන්දසාමි ක්‍රිෂ්ණකුමාර්ය.
ඔහු පවසන පරිදි 1990 වසරේ සැප්තැම්බර් නමවැනිදා සැන්දෑවේ 5.30 ට පමණ මඩකලපු දිස්ත්‍රික්කයේ සත්තුරුකොන්ඩාන් හි බෝයිස් ටවුන් හමුදා කදවුරේ සන්නද්ධ භට පිරිසක් සත්තුරුකොන්ඩාන්, කොකුවිල්, පනිච්චෙයියඩි හා පිල්ලයාරඩි යන ගම්මාන වලට ඇතුල් වී එම ගම්වාසීන්ට නිවෙස් වලින් එලියට බහින ලෙස අණ කර තිබේ.
වීදියට බට ගම්වැසියන් එකසිය අසූ පහක් වටකර පසුපසට දෑත් බැඳ, ඔවුන් සියලු දෙනා හමුදා කදවුර වෙත රැගෙන විත් තිබේ.
එම පිරිසට සත්තුරුකොන්ඩාන් ගම් වැසියන් 38 ක්, කොකුවිල් ගමේ 47 ක් , පනිච්චෙයියඩි ගම් වැසියන් 37 ක් හා පිල්ලයාර්ඩි ගම් වැසියන් 62 ක් අයත් වුනි.
හමුදා අත් අඩංගුවට පත් පිරිස අතර ගැබිණි මව්වරුන්ද ඇතුළු කාන්තාවන් 85 කි.
අවුරුදු දහයට අඩු දරු දැරියන් 42 කින් සමන්විත එම පිරිසට අවුරුදු 60ට වැඩි වයසේ 28 දෙනකු ද ඇතුළත් ය.
සාමාන්‍ය විමර්ශනයක් සිදු කිරීම සදහා සියලු දෙනා හමුදා කදවුර වෙත ගෙනයන අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කෙරෙනු ඇති බව හමුදාව විසින් ගම් වැසියන්ට පවසා තිබුනත් ඉන් පැය කිහිපයකට පසු එක් අයෙක් හැර ගෙදර ආ වෙනත් කිසිවකු නැත. පාලකිඩ්නර් කොමිසමේ වාර්තා වල දැක්වෙන පරිදි කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් තුවාල කැළැල් පෙන්නමින් පවසා ඇත්තේ හමුදා භටයන් පපුවේ තුන් පොළකට තමන්ට පිහියෙන් ඇන්න බවයි. තවත් දහ දෙනකු පමණ පිහි ඇනුම් කා බිම වැටී ඉන්නා අයුරු ඔහු දැක තිබේ.
ස්ත්‍රී දුෂණ
තුවාල වී බිම වැටී සිටියදී තමන් දුටු හමුදා සෙබළුන් විසින් කාන්තාවන්ට එරෙහිව කළ කුරිරු කම් හෙළිකරමින් කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් එයින් තුන් අවුරුද්දකට පසු ටැමිල්නෙට් වෙබ් අඩවියට පවසා තිබූ මහත් කම්පා කරවන සුළු විස්තරයෙන් බිඳකි මේ.
“පස්සේ උන් ඇඟේ නූල් පොටක්වත් නැතිව ගෑණු ළමයි අරන් ආවා. ඒ ළමයින්ගේ කටේ පස් පුරවලා දිගින් දිගටම දූෂණය කළා. ඊට පස්සේ හමුදා භටයෝ කඩු අරගෙන ඒ අයගේ පපු කපලා අයින් කළා. එයින් තුන් දෙනෙක් ලිඳකට තල්ලු කළා. උන් දූෂණය කර කර, මර මරා, මළකඳන් වළවල්වලට දාන වැඩේ පැටලිලා ඉන්නකොට මම හෙමිහිට කළුවරේ එලියට බඩ ගා ගත්තා. ආමි කාරයෝ ගියාම මම හමුදා කඳවුරේ වැට දිහාට රිංගලා කෑම්ප් එක පිටිපස්සේ ලඳු කැලේ හැංගුනා. පස්සේ සොල්දාදුවෝ ටයර් ගෙනල්ලා වලේ තිබුණු මළකඳන් වලට ගිනි තිබ්බා. පාන්දර තුන විතර වෙනකල් ගින්න ඇවිලුනා. ගිනිමැලේ නිවුනට පස්සේ වළට පස් දාලා වැහුවා.”
සමුලඝාතනයට ලක් වු අයගේ පවුල් වල සාමාජිකයන් චෝදනා කරන්නේ යුද හමුදාව සහ ග්‍රාමාරක්ෂක භටයන් එම අපරාධය කළ බව ජනාධිපති කොමිසමක් හමුවේ තහවුරු වී තිබියදීත් අදටත් යුක්තිය ඉටුවී නොමැති බවයි.




