කොළඹ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
විජේරාම නිල නිවස තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන ලද අවසන් රාජ්‍ය තාන්ත්‍රික නිල හමුව වන මෙම හමුව විජේරාම නිල නිවසින් පිටවීමට සුළු වේලාවකට පෙර පැවැත්විණි.
එහිදී වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව කතාබහක යෙදී ඇත.
එම පැමිණීම සම්බන්ධයෙන් චීන තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong ) ට ස්තූතිවන්ත වෙමින්, ''රාජ්‍යතාන්ත්‍රිකව ද පෞද්ගලිකව ද අප අතර පවතින දිර්ඝ කාලීන මිත්‍රත්වය සතුටු සිතින් සිහිපත් කරමි'' යයි මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබේ.
''දේශපාලන කටයුතුවල ඉදිරියටත් නිරත වෙනවා'' - මහින්ද
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ දි සම්මත විමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ විජේරාම නිවෙසින් ඉවත්ත තංගල්ල කාල්ටන් නිවෙස බලා පිටත් විය.
කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසින් නික්ම යද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් හමුවේ පැවසුයේ, "අපිට යන්න කිව්වා, අපි යනවා" යනුවෙනි.
දේශපාලන කටයුතුවල ඉදිරියටත් නිරත වන බව ඔහු අවධාරණය කළේය.
'ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා'
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ එහිදී පැවසුවේ, නිවස යළි රජය වෙත භාර දීම සඳහා සතියක පමණ කාලයක් ගත වනු ඇති බව ය.
"අපි නිවස භාර දෙන්නේ සතියකින්. අර ඉන්ට්වෙන්ට්‍රි ටික ඔක්කොම සම්පූර්ණ කරලා. සර් අද තංගල්ලට යනවා නිල නිවසින් ඉවත්වෙලා," මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසීය.
"මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්‍රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි... සියලු ම රටේ ප්‍රශ්න මම හිතන්නේ අදින් පස්සේ විසඳෙයි. ඡන්ද පොරොන්දුව මේ රටේ ජනතාවට නෙවෙයි එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා අද දවසේ."
මහින්දව පිලිගන්න කාල්ටන් නිවෙසට මහ සෙනගක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල නිවසින් බැහැරව තංගල්ල පිහිටි කාල්ටන් නිවෙසට අද (11) පස්වරුවේ පැමිණියේය.
අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මහින්ද රාජපක්ෂ තංගල්ල නගරයට පැමිණියේ පස්වරු 5.00ට පමණය.
තංගල්ල කාල්ටන් නිවෙස වෙත පැමිණෙන හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට සහ දැකබලා ගැනීමට පාක්ෂිකයින් සහ අධාරකරුවන් විශාල පිරිසක් තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිටට පැමිණ සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද සිය නිල රථයෙන් නිවස ඉදිරිපිට බැස මහා සංඝරත්නය හා ජනතාව පෙරටු කරගෙන කාල්ටන් නිවස තුළට පැමිණියේය.
මහින්ද රාජපක්ෂට සිය කාල්ටන් නිවෙස තුළට ළඟා වීමට තරම්වත් නොහැකි වන සේ මහජනතාව රැස් කමින් එම ස්ථානයේ සිටියේය.
පසුව, මහා සංඝරත්නය ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළහ.
තංගල්ල රන් කොත්මලු විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉතා දෙමළියේ පඤ්ඤාරතන හිමියන් සහ දඟල වජරගිරි විහාරයේ විහාරාධිපති මිරිසේ ධම්මවංශ හිමියන් විශේෂ අනුශාසනා පැවැත්වූහ.
කෙටි උත්සව සභාවේ ස්තුති කතාව කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න කියා සිටියේ, ජනතාවගේ හදවත් තුළ ජීවත් වෙන මෙම සමීප නායකයාණන් සිය පෞද්ගලික නිවසක පැමිණීම දැක බලා ගැනීම සඳහා මේ රැස්වී සිටින පිරිස හදවතින්ම පැමිණි පිරිසක් බවයි.
@Lankadeepa
‘තාත්තා පටන් ගත් තැනට යළි පැමිණියා‘‘
මේ අතර පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද X සටහනක් තබමින්, “මගේ පියා මහින්ද රාජපක්ෂ සියල්ල ආරම්භ වූ කාල්ටන් නිවසට නැවත පැමිණියා ”යැයි සඳහන් කර ඇත.
“අද, මගේ පියා කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගොස් සියල්ල ආරම්භ වූ ස්ථානය වන තංගල්ලට නැවත පැමිණියේය. සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු වරප්‍රසාද වලින් හෝ මුදල් වලින් නොව ජනතාවගේ ආදරයෙන් බව මතක් කරන්නට කැමතියි" යනුවෙන්ද නාමල් රාජපක්ෂ තැබූ "එක්ස්" සටහනේ සඳහන් වේ.

මේ අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය ද කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් වී හොරගොල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත යන බව හිටපු ජනාධිපතිවරියගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත යි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් ඊයේ (සැප්තැම්බර් 10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී කිසිදු සංශෝධනයකින් තොරව සම්මත විය.
මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් නොසැපයිය යුතු බවට හෝ නොගෙවිය යුතු බවට සඳහන් ඇති හිමිකම් මෙසේ ය.
* හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව;
* හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ
* හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ඊට අයත් ය.




