චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය සැප්තැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා යාපනය අතිරේක මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගෙන තිබුනි.
අධිකරණ කටයුතු නිමා වීමෙන් පසුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත්තේ යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් විසින් මුදල් ඇස්තමේන්තුව අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර මීලග නඩු දිනය වන ඔක්තෝබර් 1 වැනිදා වන විට මුදල් අනුමත වී තිබුනහොත් ඔක්තෝබර් 21 ක් වැනිදා සිට සමුහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කළ හැකි බවයි.
සති අටක කාලයක් සදහා කැනීම් කටයුතු වෙනුවෙන් සකස් කළ මුදල් ඇස්තමේන්තුවෙන් ඉල්ලා සිටින මුදල කොපමණක්දැයි ඔහු හෙළි කළේ නැත.
මීට ඉහත අනුමත කරගත් මුදල් වලින් දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගත් මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත අගෝස්තු 14 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා දක්වන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කර තිබුනේ දැනට කැන ඇති ප්‍රදේශයෙන් පිටතත් තව දුරටත් මිනිස් අස්ථි පැවැතිය හැකි බවට සාධක භූගර්භ සෝදිසියකින් හෙළිවී ඇති හෙයින් කැනීම් කටයුතු දිගටම සිදු කරගෙන යෑම සදහා තවත් සති අටක කාලයක් කැනීම් විශේෂඥයන් විසින් ඉල්ලා තිබු බවයි.
සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.
එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි එවක මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා පොලිසියට නියෝග කළේය.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.




