සති අන්ත සිංහල ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර කියා තිබුනේ යුද්ධයකදී ‘යම් දේවල් සිදුවීම සාමාන්‍ය දෙයක්’ බවයි.
"යුද්ධයකදී නොවිය යුතු දේවල් සම්බන්ධව මතයක සිටින නමුත් ඉන් අදහස් කරන්නේ යුද අපරාද යන විශේෂිත මාතෘකාව යටතේ නොවන බවත්, යුද්ධයක් ක්‍රියාත්මක වන විට යම් දේවල් සිදු වීම සාමාන්‍ය දෙයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. කෙසේ නමුත් ඉන් ලංකාවේ හමුදාව යුද අපරාධ කළා යැයි අදහස් නොකරන බවද ජයසේකර මහතා පෙන්වා දුන්නේය," යි ඉරිදා මව්බිම පුවතේ වැඩි දුරටත් සදහන්ව තිබේ.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය ප්‍රශ්න කිරීමට ලක් කරන ඊ.පී.ආර්.එල්.එෆ් නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර අවධාරණය කරන්නේ යුද අපරාධ සිදු කර නොමැතිනම් ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දී යුද අපරාධ සිදු නොවූ බව ඔප්පු කිරීම ආණ්ඩුවේ අමාත්‍යවරයාගේ යුතුකම බවයි.
"ඔබ යුද අපරාධ සිදු කර නොමැති නම්, ඔබ කිසිවකුට බය වීමට අවශ්‍ය නැහැ. ඔබ ආණ්ඩුවක්. ඔබ නීති රීති දන්නවා. ඔබට බලය තිබෙනවා. එම නිසා ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දී යුද අපරාධ සිදු නොවූ බව ඔප්පු කිරීම ඔබේ යුතුකමයි. ඒ වෙනුවට, යුද අපරාධ සිදු නොවූ බවත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් අපි පිළිගන්නේ නැති බවත්, මෙහි කිසිවෙකුට දඬුවම් කළ යුතු නැති බවත් පැවසීම සාධාරණ වන්නේ කොහොමද ? වත්මන් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා දැනටමත් හමුදාවෙන් විශ්‍රාම ගිය කෙනෙක්. එයා එහෙම තමයි කතා කරන්නේ. "
යුද අපරාධ චෝදනා බහුලව එල්ලවන යුද්ධයේ අවසාන සමයේ උතුරේ සටන් කළ 68 වැනි සේනාංකයට අණ දුන්නේ මේජර් ජනරාල් අරුණ ජයසේකරයි.
දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ නායක හා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයික්කලනාදන් අරුණ ජයසේකර අමාත්‍යවරයාගේ ඉහත ප්‍රකාශය හෙළා දකිමින් පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා සිදු කර ඇත්තේ දෙමළ ජනයාට එරෙහිව සිදු කළ සියළු ම්ලේච්ඡ ක්‍රියා සත්‍ය නොවන බව ඇඟවෙන තරමේ ප්‍රකාශයක් බවයි.
"චෙම්මනි සමූහ මිනීවළ පවා මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවන බවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම් පදනම වෙලා තියනවා. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළා දැකිය යුතුයි. මෙම රජය චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කරන අවස්ථාවක තමයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ. එමනිසා දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද සියලු අසාධාරණකම්, ම්ලේච්ඡ ක්‍රියා සහ සමූලඝාතන සත්‍ය නොවන බව පවසන තරමට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අදහස් දක්වනවා."
ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කර නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ඉරිදා මව්බිම පුවත්පතට පවසා තිබුනේ ඔහුට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය තීරණය කථානායකවරයා විසින් සැප්තැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
එදින කථානායකවරයා සඳහන් කර තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවයි.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුවන කාලසීමාවේදී වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ අයකු බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව ඇතුළු කරුණු 15 ක් අවධාරණය කරමින් සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුනි.
දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ නායක හා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයික්කලනාදන් ද වත්මන් ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එම ධුරයෙන් නෙරපා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන විමර්ශන සිදු කරන ලෙසයි.
"ආණ්ඩුව ඔහුව ධුරයෙන් නෙරපා පාස්කු ඉරිදා සිදුවීම සහ අනෙකුත් කරුණු විමර්ශනය කරන ලෙස මම ඉල්ලීමක් කරනවා. යුද්ධය අතරතුර යම් දේවල් සිදුවීම් සාමාන්‍ය දෙයක් බවට ඔහු කළ ප්‍රකාශය සියලු කරුණු වසන් කිරීමට ඔහු කරන උත්සාහයක්."
ළමා අපචාර
හයිටියේ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටි 2005 දී ළමා අපචාර චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා යුද හමුදා බලඇණියක නියෝජ්‍ය අණදෙන නිලධාරි ලෙස කටයුතු කර තිබුනේද මේජර් ජෙනරාල් අරුණ ජයසේකරයි. 2005 නොවැම්බර් 3 වැනිදා හයිටියට යවන ලද තුන්වැනි ශ්‍රී ලංකා බලඇණියේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා වූයේ ඔහුය.
එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර දෝෂ පරීක්ෂණ සේවය (OIOS) කළ පරීක්ෂණයකින් හෙළි වූ පරිදි 2004 සිට 2007 දක්වා කාලය තුල ශ්‍රී ලංකා බලඇණි විසින් බාල ළමුන් ලිංගික වශයෙන් සුරා කා තිබේ.
එකී බලඇණියක සෙබළුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය අණදෙන නිලධාරියා වශයෙන් වගකිවයුතු මේජර් අරුණ ජයසේකර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව හෝ ආණ්ඩුව හෝ කිසිදු විධිමත් විමර්ශනයක් කර ඇති බවක් වාර්තාවී නැත. ඒ වෙනුවට ඔහුට විවිධ නිලතල හා උසස්වීම් ලබා දී ඇති අතර යහපාලන ආණ්ඩුව විසින් 2016 දී ඔහු මේජර් ජනරාල්වරයකු ලෙස ඉහල නංවා තිබේ. එම ආණ්ඩුව විසින්ම 2018 දී ඔහු නැගෙනහිර ආඥාපති වශයෙන් පත් කරන ලදී.
ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් පවරා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යධුරයේ වගකීමයි.




