වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි දිනවල පුළුල් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු පැවසුවේ පනතට අදාළව ලැබෙන සෑම පැමිණිල්ලක්ම විමර්ශන කරන බවයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරි දිනවලදී පැමිණිලි සියයකට අධික සංඛ්‍යාවක් කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
මේ අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව ප්‍රශ්න කිරීමට සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙයි
මෙම ප්‍රශ්න කිරීම් හේතුවෙන් මැති සබය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසුවේ, ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ ඔවුන්ගේ දේපළ සහ ඔවුන් සිය දේපළ සම්බන්ධයෙන් මුලින් කර ඇති විවිධ ප්‍රකාශ අතර බරපතළ සැක සහිත වෙනස්කම් පවතින බවයි.
ආණ්ඩුවේ ඇතැම් ඇති ඇමැතිවරුන්ගේ වත්කම් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හෙළිදරව් වීමෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය. සියවත්කම් සම්බන්ධයෙන් එම ඇමතිවරුන් කරුණු ගෙනහැර දැක්වුවද බොහෝ පාර්ශ්ව එම ප්‍රකාශ පිළිගන්නා තත්ත්වයක් පෙනෙන්නට නැත.
මේ අතර සමහර මැති ඇමැතිවරුන් ඇතුළු රජයේ සේවකයන් වත්කම් බැරකම් ප්‍රකාශ පැරණි සැකැස්මට පුරවා ඉදිරිපත් කිරීමෙන් කොමිසම ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටින බව වාර්තාවේ.
( lankadeepa | සුජිත් හේවාජුලිගේ)




