The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මම ලන්ඩනයෙන් අරන් ආවෙ මොනවද අහන්න කලින් අනුර ජර්මනියට ගිහින් මොනවද ගෙනාවෙ කිව්වා නම් - රනිල් වික්‍රමසිංහ

T

The Leader Desk

September 22, 2025 • 5:02 AM

මම ලන්ඩනයෙන් අරන් ආවෙ මොනවද අහන්න කලින් අනුර ජර්මනියට ගිහින් මොනවද ගෙනාවෙ කිව්වා නම් - රනිල් වික්‍රමසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙසේ විමසුවේ පෙරේදා (සැප්තැම්බර් 20) පැවති එක්සත් ජාතික පක්ෂ 79 වන සංවත්සර උත්සවයේ දී සිය අදහස් දක්වමිනි.
  • මම 2022 රට බාර ගන්නකොට දළ දේශීය නිෂ්පාදිතය කීය ද?
  • මා නැවත අනුර කුමාරට රට බාර දෙන විට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 98.9යි.
  • මේ රටේ ජාතික විගණන නීතිය 2018 වසරේ සම්මත කලේ අපි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙසේ විමසුවේ පෙරේදා (සැප්තැම්බර් 20) පැවති එක්සත් ජාතික පක්ෂ 79 වන සංවත්සර උත්සවයේ දී සිය අදහස් දක්වමිනි.

එම සංවස්තර උත්සවයේ දී වැඩි දරටත් අදහස් දැක්වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ...

 

548696729 1382545746564262 7225559275861051935 n
අපි ඔක්කොම එකතු වුණා

''අද මේ සංවත්සරය සියලු දෙනා එක්ව පවත්වන්නට හේතුවක් තිබුණා. ඒ, මා අත්අඩංගුවට ගැනීමයි. මම ගියේ නිල සංචාරයක්. මා එම සංචාරයේ දී  කියුබාවටත් ගියා. හවානාවල දී අප්‍රිකා නායකයන් ගණනාවක් හමුවුණා. මා කියුබා නායකයාත් මුණ ගැසුණා. පිදෙල් ක්‍රැස්තෝ සහ ජේ.ආර් අතර විශේෂ සම්බන්ධතාවයක් තිබුණා. ජේ.ආර් ලංකාවේ හොඳම තේ පිදෙල් ක්‍රැස්තෝට යැව්වා. ක්‍රැස්තෝ කියුබාවේ තිබෙන හොඳම සුරුට්ටු ටික ලංකාවට එව්වා.

අනතුරුව මා හවානා සිට මා නිව්යෝර්ක් ආවා. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයටයි. එහි දී ලෝක නායකයන් රැසක් හමු වුණා. ලෝක බැංකුවේ සභාපති මෙන්ම අයි.එම්.එෆ් අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙන්නට මා ගියා. ලංකාවේ  ආර්ථික පියවර ගැන මා එහිදී ලෝක බැංකුව සහ අයි. එම්. එෆ්. සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡාව කර නිල වශයෙන් කොළඹ එන ගමන් එක රැයක් ලන්ඩන්වල ගත කළා. මේ සියල්ල ම සම්පූර්ණයෙන්ම නිල ගමනක්. ලන්ඩනයෙන් මට නිල ආරාධනයක් තිබුණා. ඒකට තමයි ඔය ගෙනිච්චේ.

මට ආරාධනා කරපු ලියුමත් පෙන්නුවා. මා ලන්ඩනයෙන් ලංකාවට ගෙනාවේ මොනවාදැයි අසා තිබුණා. එහෙනම් ජර්මනිය ගැන මටත් අනුර ජනාධිපතිතුමාගෙන්  එහෙම අහන්න පුළුවන්.

මට විරුද්ධව  පැමිණිල්ල කළේ කවුද? වර්තමාන ජනාධිපතිතුමාගේ වර්තමාන ලේකම්වරයායි. ඒ උඩ මම අත්අඩංගුවට  ගත්තා. මා අත් අඩංගුවට ගත්ත අවස්ථාවේ සියලු දෙනා එක්වුණා. මගේ මිත්‍රයෝ වගේම දේශපාලන විරුද්ධවාදීන් ද ආවා. ඒ අනුව අපි ඔක්කොම එකතු වුණා.

ඒකාධිපතිවාදය විශාල තර්ජනයක්

juy7u676
හිටපු ජනාධිපති මහින්ද, මෛත්‍රී මා මුණ ගැහෙන්න ආවා. චන්ද්‍රිකා අසනීපෙන් සිටි නිසා පණිවිඩයක් එව්වා. ගෝඨාභය හිටියේ රට. ඒ වගේම විපක්ෂ නායක සජිත් මා හමුවෙන්න ආවා. ඒ අනුව අප දැන් එකතු වී තිබෙනවා. ඒ නිසා අපේ සංවත්සරය වෙනස් විදියකට තියන්න කල්පනා කළා. දැන් තිබෙන්නේ අප ඔක්කොම එකතුවී වැඩ කිරීමයි. අද තියෙන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කිරීමේ සටනයි.

ආණ්ඩුව කියන්නේ මොකක්ද මම මිලියන දාසයක් අරගත්තාලු. මම 2022 රට බාර ගන්නකොට දළ දේශීය නිෂ්පාදිතය කීය ද? බිලියන 76.8 යි. මා නැවත අනුර කුමාරට රට බාර දෙන විට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 98.9යි. ඉතින් මං මොනවටද මේවා අර ගන්නේ.

මේ ඒකාධිපතිවාදය  විශාල තර්ජනයක්. අප ඉන්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක. ඉන්දියාව, එංගලන්තය වගේ රටවල තියෙන්නෙත් මේ ක්‍රමය තමයි. දැන් ඒ ක්‍රමය නැති කරන්න හදනවා. හොරු කියමින්  ඔක්කොම අත්අඩංගුවට ගන්න යනවා. මේ රටේ ජාතික විගණන නීතිය 2018 වසරේ සම්මත කලේ අපි. 2022 ක වසරේ ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ දූෂණය. ඒ නිසා අප දූෂණ විරෝධී පනත සම්මත කළා. මූල්‍ය අරමුදල සමග එක්ව රාජ්‍ය පාලන විශ්ලේෂණය ඉදිරිපත් කළා. ඒ කොමිසම ඇති කළා. කොමිසමේ නිලධාරීන් පුහුණු කරන්න තියෙනවා. නමුත් එක්කෙනෙක්වත් පුහුණු කරන්න යවලා නෑ.

හොරු අල්ලන්න වැඩ වැඩපිළිවෙල හදලා තියෙන්නේ අපි. අපි හොරු නම් එහෙම කරනවද? දූෂණයට විරුද්ධව ක්‍රියා කරන්න. අපි කවුරුවත් ඊට විරුද්ධ නෑ. නමුත්  දූෂණය මුවාවෙන් වෙනත් දේවල් කරනවා. කොමිසම විතරක් නෙමෙයි, සී. අයි. ඩී. එකත් ගේනවා. එතැන දේශපාලනීකරණයක් ක්‍රියාත්මක වෙන බව දයාසිරි මහතාත් පැවසුවා. විපක්ෂ නායකයින් නිශ්ශබ්ද කර ඒකාධිපතිවාදයක් හදන්න යනවා. අපි මේකට මුහුණ දෙමු. විපක්ෂයේ නායකයන් අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධව අපි එකට ඉමු. අපි බය නැතුව ඔවුන් සමඟ ඉදිමු. ඒ අය හිතන්නේ අපි මේකට යටත් වේවි කියලා. ඒ නිසා අප මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි.

ඊළඟ පියවර කුමක් ද...?

549801389 1382545706564266 8649794299705942336 n
කවුරුදු 78ක් කලේ මොකක්ද කියා අහනවා.

අපි අධ්‍යාපනය සෞඛ්‍ය දියුණු කළ තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. අද විදුලි බලය නැත්තෙ කොහේද? අද වරිච්චි බිත්ති තියෙන ගෙයක් තියෙනවද? ඕන කෙනෙක්ට හම්බ කරන්න අප විවෘත ආර්ථිකය ගෙනාවා. ඕන තරම් උදාහරණ තියෙනවා. මගෙන් අහන්න එපා. වසන්ත සමරසිංහ ඇමතිතුමාගෙන් අහන්න.

අප ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා කළේ නැහැ. ජනාධිපති සර්වජන ඡන්දයෙන් තේරුණා. රණසිංහ ප්‍රේමදාස, මෛත්‍රීපාල  සිරිසේන, අනුර දිසානායක ජනාධිපති වුණා. ඒ ක්‍රමය හැදුවේ කවුද? අපේ බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කරන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන. මෙතැනින් ඉදිරියට යා යුතුයි. මේ රැස්වීමෙන් පස්සේ අපි විසිර යන්නේ නෑ. එකතුව යා යුතුයි. ඔක්කොම පක්ෂ එකතු වෙලා රට වටේම රැස්වීම් දාහක් තියන්න. එතන එකතු වෙන බලවේගය බලන්න. මෙතනින් නවතින්න බැහැ. ඊළඟ පියවර ගත යුතුයි. අපි මේ ගමන යමු; එකට එකතු වෙලා."

 



මෙම සංවත්සර සැමරුමේදී සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයින් ද සිය අදහස් පළ කළහ

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

මේ මහ ගෙදර පියා රනිල්

''මුලින්ම මම එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය වෙනුවෙන් මගේ සුබ පැතුම එකතු කරනවා. මේක ඇත්තටම 79 වැනි සංවත්සරය පමණක් නෙමෙයි, හැමෝම එකතු වුණු අවස්ථාවක් කියලා මම හිතනවා. දැන් අපි නිල වශයෙන් ඉන්නේ සමගි ජන සන්ධානය සමගයි. දැන් මේක මහ ගෙදරනම් මේකේ පියා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

දැන් එතුමා පියානම් ඒ මහගෙදර ප්‍රධාන දරුවා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් ඒ පවුලේ ගැටුම්වලට මමනම් සම්බන්ධ වෙන්නේ නැහැ. අපි අල්ලපු වත්තේ ඉන්න අය. සමහර අය දකුණේ, සමහර අය වමේ. මහගෙදර අය කඩාගෙන ගිය අවස්ථාවේත් මම මෙතන හිටියා. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා දන්නවා. කවදාවත් මම පාවා දුන්නේ නැහැ. පාවා දෙන්නෙත් නැහැ. දැනුත් අපි ඉන්නේ ඔබතුමන්ලගේ දරුවගේ සන්ධානයේ. දැන් ඉතින් මේ පියාටයි, දරුවටයි එකතු වෙන්න අවස්ථාවක් හම්බෙලා තිබෙනවා. අපි පිටින් ඉඳන් ඒ වැඩේට උදව් වෙනවා. හැබැයි ඒ මණ්ඩලේ කලබලවලට අපිව දා ගන්න එපා.

76 සාපය කියන වචනය අපි නම් පිළිගන්නේ නැහැ. එහෙම සාපයක් නම් ඒකෙන් සියයට 51ක් වර්තමාන ආණ්ඩව බාරගන්න ඕන. ඒක හැමෝම දන්නවා. මේ රටේ ඉතිහාසය පුරාම අපි හැමෝම වරද්ද ගත්තා. මේ රට විශේෂයෙන්ම බහු ආගම් දරණ, බහු භාෂා කතාවෙන, බහු ජන වර්ග ජීවත් වෙන රටක් මේක. ඒක හැමෝම පිළිගන්න ඕන. ඒක පිළිගන්න බැරි නිසා තමයි වරද්ද ගත්තේ. 


අපි සාකච්ඡා කරන්නේ ආණ්ඩුවක් හදන්න

එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වුණෙත් ඒ පදනම උඩ. එහෙනම් කොතනද වැරදුණේ? දැන්වත් මේක තේරුම් අරගෙන අපි ඉස්සරහට යමු. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිරේ ගිය එක අපිව එකතු කරන්න අවස්ථාවක් වුණා. මේ එකතුවීම හොරු එකතු වීමක් කියලා ආණ්ඩුව කියනවා. එය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. හොරකමට මෙතන ඉඩ නැහැ. දූෂණයට වැරැද්දට මෙතැන ඉඩ නැහැ. අපි ආණ්ඩුවට කියනවා නීතිය අතට අරගෙන ඔයාලා අරයා හොරා මෙයා හොරා කියන්න එපා. ඒක අධිකරණය තීරණය කරාවී.

මේ එකතුවීම බහුතික එකතුවීමක් පමණක් නෙමෙයි, දේශපාලනික එකතුවීමක් වෙන්න ඕන. රට හදන්න නම් එකතුවීමක් අවශ්‍යයමයි. නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ අපි ඉදිරියට ගමන් කිරීම අවශ්‍යයයි. ඒ ගමන්කිරීමට මග පෙන්වීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිට ලබාදෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. අපි විපක්ෂයේ සියලුදෙනා සමග සාකච්ඡා කරනවා. ඒ සෑම සාකච්ඡාවකම වගේ මමත් ඉන්නවා. ඒවා දැකලා ආණ්ඩුව කියනවා අපි ආණ්ඩුව වට්ටන්න සාකච්ඡා කරනවා කියලා. නමුත් ආණ්ඩුවට මම කියන්න ඕන. අපි සාකච්ඡා කරන්නේ ආණ්ඩුව වට්ටන්න නෙමෙයි, ආණ්ඩුවක් හදන්න කියලා.''

 



පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල,

''මහජන බලයකින් බලයකින් බලය ගත් ෆැසිස්ට්වාදීන්''

''එක්සත් ජතික පක්ෂය 79 වැනි සංවත්සරය සමරන්නේ අපේ මව්බිමේ ඉරනම්කාර සන්ධිස්ථානයකදී. අපේ මව්බිම තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පවතිනව ද, ෆැසිස්වාදයේ ගොදුරක් වෙනවා ද, නැද්ද කියන එක තීරණය කිරීමේ වගකීමේ ඉරණම ලෙසින් අපේ කරමත පටවපු මොහොතක තමයි මේ සංවත්සරය සමරන්න අපි එකතුවෙලා තියෙන්නේ.

අපිට මතකයි මේ ෆැසිස්ට්වාදීන් ආයුධ සන්නද්දව රාජ්‍ය බලය අත්පත්කරගන්න එන විට ඒකට මුහුණදෙන්න ඕන විදිහ අපි දන්නවා. 1971 දී ගල්කටස් තුවක්කුව අරන් ෆැසිස්ට්වාදීන් රාජ්‍ය බලය උදුරගන්න හදද්දී අපි ඒකට මුහුණ දුන්නා. 1987 දී ටී56 අරගෙන ෆැසිස්ට්වාදීන් මේ රටේ රාජ්‍ය බලය උදුරගන්න හදද්දී අපි ඒකට මුහුණ දුන්නා. උතුරේ ෆැසිස්ට්වාදීන් අපේ ආදර මව්බිම දෙපළු කරන්න හදද්දී අපි ඒකට මුහුණ දුන්නා. ඇයි ඒ? ආයුධ සන්නද්ධව එන ෆැසිස්ට්වාදීන්ව පරාජය කරන්න අපේ සන්නද්ධ හමුදාවන්ට සුජාත අයිතියක් තිබුණු නිසා. හැබැයි දේශප්‍රේමී සළුපිළි ඇඳගෙන සමාජවාදී වෙස්මුහුණ බැදගෙන ෆැසිස්ට්වාදීන් මහජන බලයකින් බලය අරගත්තම ඒක අපිට අමුතු අත්දැකීමක්.

හිට්ලර්ගේ බලයට පැමිණීම සහ අනුර දිසානයකගේ බලයට පැමිණීම

ඒ අයගේ දේශප්‍රේමී සළුපිළි උනාදාලා සමාජවාදී වෙස් මුහුණ ගලවලා ෆැසිස්ට්වාදී නිරුවත පෙන්වන විට ජනතාව පරක්කු වැඩියි. අමතක කරන්න එපා ඇඩලොෆ් හිට්ලර් ජර්මනියේ බලය ලබාගත්තෙත් මේ වගේම මැතිවරණ ජයග්‍රහණයකින්. දේශප්‍රේමීත්වය වපුරමින්, වෛරය වපුරමින්. බොරු පොරොන්දුවලින් ජනතාව සුරංගනා ලෝකයට අරගෙන ගිහින්. ඇත්තෙන්ම ඇඩලොෆ් හිට්ලර් බලයට පැමිණීමයි, අනුර දිසානායක බලයට පැමිණීමයි අතර අපූරු සමානකම් කිහිපයක් තිබෙනවා.

 

m6809p8t6
* ඇත්තෙන්ම ඇඩලොෆ් හිට්ලර් බලයට එන්නෙත් කම්කරු පක්ෂයකින්. ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය. අනුර කුමාර දිසානායක මහතා බලයට ආවෙත් කම්කරු යැයි කියන පක්ෂයකින්.

* දෙවැනි සමානකම හිට්ලර්ගේ නායකත්වයෙන් නාසි පක්ෂය නැගිටින්න කලින් සියයට තුනේ වගේ ඡන්ද ප්‍රතිශත ගනිමින් පැරදි පැරදි තිබුණු පක්ෂයක් තමයි හදිස්සියේ නැගිටින්නේ.

* තුන්වැනි සමානකම, ජවිපෙ නැගිටින්න කලින් මාලිමාව කියලා වෙස්මුහුණක් බැඳගත්තා වගේම 1919 දී පක්ෂයේ නම වෙනස් කරලා නාසි පක්ෂය බවට පත්කරගන්න හිට්ලර් කටයුතු කරනවා.

* හතරවන සමානකම මාලිමාව 2022 ආර්ථික අර්බුධය පාවිච්චි කරලා තමන්ගේ නැගිටීම පටන් ගන්නවා වගේම 1920 දශකයේ ජර්මනියේ ඇතිවුණු දැවැන්ත ආර්ථික අර්බුධය පාවිච්චි කරලා තමයි නාසි පක්ෂයේ නැගිටීම සිද්ධ වෙන්නේ.

* පස්වෙනි සමානකම ජර්මනියේ ආරථික අර්බුධයට හේතුව යුද්දෙව්වන්ය කියලා පෙන්වලා යුදෙව්වන්ට වෛරය ගොනුකරලා තමයි මේ අය දේශපාලන බලය ගන්නේ. ලංකාවේදී ආර්ථික අර්බුධයට හේතුව බලයේ සිටි දේශපාලන පක්ෂවල දේශපානඥයින්ය කියල ඒ අයගේ ගෙවල් ගිනිබත් කරලා ඒ අයට වෛරය වපුරලා තමයි මේ අය බලය ගන්නේ.

* හයවැනි සමානකම 1933 දී සියයට 37 අරගනෙ සුළුතර බලය තිබෙන පක්ෂයක් විදිහට. 2024 දී අනුර දිසානායක මැතිතුමා බලයට එන්නෙත් සියයට 42ක් අරගෙන සුළුතර පක්ෂයක් විදිහට.


එහෙම බලද්දි හිට්ලර්ගේ බලයට පැමිණීමයි, අනුර දිසානයකගේ බලයට පැමිනීමයි අතර මහා භයානක සමානකම් හයක් තිබෙනවා. මේක අපිට නුහුරු දෙයක්. අපිට මොකද වෙන්නේ කියලා අපිට අවිනිශ්චිතභාවයක් තිබෙන වෙලාවක්. ඒ නිසා හෙට ලංකාවට මොකද වෙන්නේ කියන ප්‍රශ්නයට උත්තර හොයන්න නම් 1930 දී ජර්මනියට මොකද වුණේ කියලා අපි හොයලා බලන්න ඕන.

තාවකාලික සමගිය සදාකාලික සමගියක් බවට

ඒ වගේම ඔබතුමා බන්ධනාගාරගත වීම අපි කාගේවත් කැමැත්ත නොවුණත් ඔබතුමා ඇතුළට යෑම ඓතිහාසික කාර්යභාරයක ආරම්භයක් බවට පත්වුණා. ඔබතුමා එළියයේ ඉඳන් කරන්න ගිය දේ ඇතුළතට ගියාම වුණා. එදා මුළු විපක්ෂයම සමගි වුණා. මේ එදා ගොඩනැගුණු තාවකාලික සමගිය සදාකාලික සමගියක් බවට පරිවර්තනය කරන්න කාලයයි. ඒ සමගිය මේ ෆැසිස්ට්වාදය පරාජය කරන තුරාවටම පවත්වගෙන යෑම අද යුගයේ අපේ කර මත තියෙන අභියෝගයක්. ඒ ඉටුකිරීමට මූලිකත්වය ගත හැක්කේත්, ගත යුත්තේත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා විපක්ෂයේ තිරසර සමගියක් ගොඩනගන්නට එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන්ටත් එක්සත් ජාතික පක්ෂයටත් නුදුරු දිනයක හැකි වේවා! කියා මා ප්‍රාර්ථනා කරනවා...!''



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක

රනිල් නොකළ එක ම දේ

''පාර්ලිමේන්තුවේ එක ආසනයක් තිබිලත් පක්ෂය ආරක්ෂා කරගත් නායකයින් ඉන්න පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ. මේ පක්ෂය වැටෙන්නේ නෑ. වට්ටන්නත් බැහැ. මම ආදරේ කරේ මේ පක්ෂයට නෙමෙයි රනිල් වික්‍රමසිංහට. රනිල්ට ආදරේ කරලා තමයි මම මේ පක්ෂයට වැඩ කරන්න ආවේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරන්න පාර්ලිමේන්තු ඡන්දේ වෙලාවේ දී මම තමයි ඔයගොල්ලන්ගේ ලොක්කව ජනාධිපති කරන්න ෆයිල් එක අරන් ගියේ. මනෝ, වඩිවේල් එහෙම මගේ ළඟට ඇවිත් ඇහුවා මචන් නම්බරස් හරිද කියලා. මම කව්වා හරි කියලා. ඕගොල්ලන්ගේ එක ඡන්දෙන් ආව නායකයව අපි 133 ක් අරන් දීලා රටේම නායකයා බවට පත් කළා. එතුමා රට හැදුවා. රට හදලා තමයි බාර දුන්නේ.

මේ ඊයේ පෙරේදා ආණ්ඩුවේ සභානායකතුමා අහනවා රනිල් මොනවද කළේ කියලා. ඔබතුමා එකක් කළේ නැහැ. අනිත් ඔක්කොම කළා. ඒ මොකද්ද? ඒ තමයි පාර්ලිමේන්තුව ගිනිතියන්න ආව ඔය තුන් හතර දෙනා අල්ලලා ඇතුළට දැම්මේ නැහැ. ඕක තමයි ඔබතුමා කරපු නැති දේ. අනිත් ඔක්කොම කළා. තෙල් ගෙනත් දුන්නා, ගෑස් ගෙනත් දුන්නා, ඩොලර් ගෙනාවා, වෙඩි බෙහෙත් ගෙනාවා. ගේන්න තිබ්බ හැමදේම ගෙනත් දීලා රට තැනකට ගෙනත් දුන්නා.

සිංහල ගණිත ක්‍රමයේ ලේසි ම ගණන් හැදිල්ල

අපි ආණ්ඩුවට ඇතුළෙදිත් ගහනවා, එළියෙදිත් ප්‍රහාර එල්ල කරනවා. අපි අපේ වැඩේ කරනවා. අපිටයි පොදුජන පෙරමුණටයි ඔක්කොටම තියෙන්නේ ලක්ෂ 65යි. සජබයි ඕගොල්ලොයි එකතු වුණොත් නිකන්ම 65 ක් තියනවා. පොදුජන පෙරමුණේ ලේකම්තුමා ඉන්නවා, අපි ඉන්නවා, අපේ ඡන්ද ටික තමයි අනුර ගාව තියෙන්නේ. එදා ජනාධිපති වරප්‍රසාද කප්පාදු අවස්ථාවේ දී මම විතරයිනේ ඡන්දය දුන්නේ. ඒ වෙලාවේ මම බිමල් රත්නායකට කිව්වා මෝඩ වැඩ කරන්න එපා කියලා. ඔයගොල්ලෝ ගාව තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ ඡන්ද. එතුමගේ වරප්‍රසාද කප්පාදු කරනවා කියන්නේ ඒ ඡන්ද තමයි ඔයගොල්ලන්ගේ ගැලවෙන්නේ කියලා. ඉතින් අපි ඕන් නෑ මේගොල්ලන්ට. මේ දෙගොල්ලෝ එකතු වුණාම නිකන්ම මේගොල්ලන්ගේ බස් එක ලෝඩ් වෙනවා. අපිට නගින්න ඉඩක් නැති වෙයි. මට නිමල් සිරිපාලද සිල්වාටයි ෆුට් බෝඩ් එකේවත් නගින්න ඉඩ තියෙයිද දන්නෑ. මේක තේරුම් ගන්න. මේක තමයි සිංහල ගණිත ක්‍රමයේ ලේසිම ගණන් හැදිල්ල. මීට වඩා ගණන් හැදිල්ලක් නැහැ.

දැන් බලන්න ගිය සැරේ ඡන්දය. අනුර සියයට 54 යි. සජිත් 44 යි. අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියයට 22 යි. ඉතින් මේ 44 යි 22 යි එකතු කරාම එතනම 66යි. ඒ නිසා මේක එකතු කරගෙන ඉදිරියට යන්න. හැබැයි දෙපැත්ත එකතු නොවී අපිටනම් කතා කරන්න එපා. ඒකත් කෙළින්ම කියන්න ඕන.

අතට දීපු බත් ටික කටට දා ගන්න බැරි ආණ්ඩුව

අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා බන්ධානාගාරගත කරපු දවසේ බන්ධනාගාරය ඉස්සරහට වෙලා රෑ 12 වෙනකන් මම හිටගෙන හිටියා. මම ඒ තරම් එතුමට ගරු කරනවා. ඒ වගේම දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් මම සලකනවා. එතුමත් අපිත් එක්ක හොඳයි. හැබැයි ඉතින් එකතු නොවි නම් ඔය දේ කරන්න බැහැ. ඔක්කොම වැඩ කාරයෝ ටික මෙතන තමයි ඉන්නේ. මේ කට්ටිය එකතු කරන් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නායකයා නැතිව අපිට විශ්වාසයක් නැහැ, මේක එකතු කරන් යන්න. මොකද මේ ආණ්ඩුව එච්චර කල් යන්නේ නැහැ. මොකද යන්න දන්නෙත් නැහැ. අතට දීපු බත් ටික කටට දා ගන්න බැහැ.''



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්

රට ඉදිරියේ තියෙන්නේ භයානක තත්ත්වයක්

''අපි දෙගොල්ලොම බලය ලබාගැනීමේ හුදු අරමුණින් හෝරා හොරා කියලා ඇඟිල්ල දික් කරලා, චෝදනා කළා. අවසානයේ මේ රටේ ජනතාව හිතුවා මේ දෙගොල්ලොම හොරු රට විනාශ කරපු මිනිස්සු තමයි මේ රටට ආදරේ කියලා. අපි අද අන්න ඒ කටුක යථාර්තයට මුහුණදෙමින් ඉන්නවා. රට ඉදිරියේ තියෙන්නේ දැවැන්ත භයානක තත්ත්වයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමේ උත්සාහයක් අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි අද ආණ්ඩුවේ ඉන්න ඇතැම් අය කියනවා මරලා හරි මැරිලා හරි මේ ආණ්ඩු බලය තියාගන්නවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට තමන් කැමති මතයක් දරන්න ඒ නිදහස රැකගැනීමේ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක එකතු වෙන්න අපි සූදානම් කියලත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.''



සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය සියලුම ජාතීන් එක තැනක තියාගෙන අරඹපු පක්ෂයක්

''මම මේ කතාව ආරම්භ කරන්නෙම එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරලා අද වෙනකොට එකට සිටගෙන කටයුත කරන්න ඕන කියන මතයේ සිට බව මම කියන්න ඕන. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය සියලුම ජාතීන් එක තැනක තියාගෙන ආරම්භ කරපු පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මේ රටට විශාල කාර්යභාරයක් කරල මේ රට සහලින් ස්වයං පෝෂණය කළා. ඒ වගේම මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබල දීලා රට ඉදිරියට ගෙන ගියා. මේ පක්ෂයේ දස දහස් ගාණක් පාක්ෂිකයන් මේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කරලා තියෙනවා. විශේෂයෙන් ම ප්‍රේමදාස මැතිතුමා, ගාමිණි දිසානායක මැතිතුමා ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා, රන්ජන් විජයරත්න මැතිතුමා වැනි නායකයෝ මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි.

විපක්ෂය යටපත් කරන්න හදන කාලයක්

අපි දන්නව අද රට පුරා අසත්‍ය ප්‍රකාශ කරලා ජනතාව මුළා කරලා බලයට ආපු මේ උදවිද  රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අද විශාල තර්ජනයක් වෙලා තියෙනවා. මේ රටේ නායකයෝ 1948 දී එකතුවෙලා ලබා ගත්ත ඒ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්න කාලය ඇවිල්ලා. මේ රටේ දේශපාලන නායකයින් අල්ලලා මර්ධනය කරලා විපක්ෂය යටපත් කරන්න හදන කායලක් මේක. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා ඒකාධිපතිත්වය කරා ගමන කරන්න හදන බවක් අපට පේන්නට තිබෙනවා. අපි දැක්කා වික්‍රමසිංහ මැතිතුමා අසාධාරණ අයුක්ති විදිහට බන්ධනාගාරගත කරන්න කටයුතු කළා. අපි ඒ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වෙනුවෙන් එතුමාට යුක්තිය ලබාදෙන්න කටයුතු කළා. මර්ධනයට එරෙහිව අපි සටන් කළ යුතුයි. මේ රටේ තිබෙන ප්‍රධාන විපක්ෂය විදිහට ඒ සඳහා අවශ්‍ය ශක්තිය දෙන්න අත්වැල බැඳගන්න ප්‍රධාන විපක්ෂය සූදානම් බව මම ඔබට ප්‍රකාශ කරනවා.''



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

''ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන උගන්වන්න හදනවා''

''සම්මේලනයට අපට ආරාධනා කිරීම ගැන ගරු නායකතුමන්ට ස්තූතිවන්ත වන ගමන් අවුරුදු දොළහකට පස්සේ එක්සත් ජාතික පක්ෂ සංවත්සරයක් ආමන්ත්‍රණය කරන්න ලැබීම ගැන මම සන්තෝස වෙනවා. මට මේ පක්ෂයෙන් යන්න වුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට නායකත්වය දෙන්න ගිහින්. හැබැයි එදා මම ගියේ මගේ මන්ත්‍රීකම මේ පක්ෂයේ තියලා. අපි ගිය ජනාධිපතිවරණය වෙලාවේදී දෙපැත්තට බෙදිලා වැඩ කරා. අපි වැඩේ කළේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. කොහොම වුණත් මෙහි ප්‍රතිඵලය වුණේ අපි දෙගොල්ලොම පරාදයි. නමුත් අද අවුරුදු 79කට පස්සේ මේ සියලුදෙනාම නැවත එකතු වෙලා ඉන්නවා.

අපි කවදාවත් වෛරය වපුරලා දේශපාලනය කරේ නැහැ. අද මේ ආණ්ඩුවෙ ඉන්න අය තමයි අවුරුදු 76 ක් තිස්සේ මේ රට ඉදිරියට ගෙනියන්න නොදුන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපිට උගන්වන්න හදනවා.

මුලින්ම අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන එක

ඒ නිසා අපි මේ ගැන අවබෝධයෙන් වැඩකළ යුතුයි. මේ එකතුවීම අපිට ආශිර්වාදයක් කියලා මම මතක් කරන්න කැමතියි. මේ එකතු වීම ආරම්භ වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට ගැනීමත් එක්ක. අපි කවුරුත් ඒකට අකමැති වුණත් අපි ඒ ප්‍රශ්නයෙදී එකමුතුව මුහුණ දුන්නා. අපිට පුළුවන් උණා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙරට එන්න. ආණ්ඩුව මේක දැකලා බය වුණා. ඒ නිසා මම කියන්නේ කැමතියි එහෙම ශක්තියක් අපිට තිබෙනවා.

මේ රට අවුරුදු 76 ක් තිස්සේ පස්සෙට ඇද්දේ අපි නෙමෙයි, අද මේ රට පාලනය කරන ඒ අයමයි. අද අපේ විනිමය සංචිතය කඩාගෙන වැටිලා. මෙහෙම වැඩිකල් මේ අයට යන්න බැහැ. අපිට ඉස්සරහට කරන්න වැඩ ගොඩක් තියෙයි. අපි හැමෝම එකතු වෙලා ඉදිරියට එන තත්ත්වයට මුහුණදෙන්න තිබෙනවා. අපිට තනතුරු තානාන්තර ගැන පස්සේ බලා ගන්න පුළුවන්. දැන් මුලින්ම අවශ්‍ය වන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන එකයි.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...