ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ මතුපිට උද්ධමනය 1.5%දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ආහාර කාණ්ඩය සඳහා උද්ධමනය 2.9%ක්ද, ආහාර නොවන කාණ්ඩය සඳහා උද්ධමනය 0.4%ක්ද ලෙස වැඩිවී තිබේ.
ඊට පෙර ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමනය වාර්තාවුණේ, 0.7% ක් ලෙසය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය මාසයට අදාල ජාතික පාරිභෝගික මිල දර්ශකය අද (22) නිකුත් කරමින් මේබව කියා සිටියේය.
පසුගිය ජූලි මාසයේ 2.2% ක් ලෙස වාර්තාවූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ 2.9% දක්වා ඉහළ ගොස් තිබේ.
ජූලි මාසයේ -0.6% ක් ලෙස වාර්තාවූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ වැඩිවී ඇත්තේ 0.4% දක්වාය.
මහ බැංකු අපේක්ෂා, ඉලක්ක ළගා කර ගැනීමකට මග පාදයි.
වසර 2022දී අධි උද්ධමනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ක්‍රමිකව තනි ඉලක්කමේ උද්ධමනයක් දක්වා ගමන් කරමින් තිබුණි. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති තීරණ බෙහෙවින් බලපා ඇත.
මෑත කාලීනව අවධමනයක් වාර්තා කරමින් තිබූ පසුබිමක උද්ධමනය තනි මැද ඉලක්කමක් දක්වා අපේක්ෂිත මට්ටමට ක්‍රමිකව ඉහළ නැංවීම සුබ දායක බව සහ අපේක්ෂිත ඉලක්ක කරා ළගාවීමක් පෙන්නුම් කරන බව ආර්ථික විශ්ලේශකයෝ පවසති.
(සටහන | ජේ.මුණසිංහ)




