The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

බැරිනම් වන්දි අරන් යන්න - ආණ්ඩුව යළිත් විදුලි සේවකයින්ට කියයි

T

The Leader Desk

September 24, 2025 • 4:21 AM

 බැරිනම් වන්දි අරන් යන්න - ආණ්ඩුව යළිත් විදුලි සේවකයින්ට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලි වෘත්තිය ක්‍රියාමාර්ග සම්න්ධයෙන් ඊයේ (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු එබව කියා සිටියේය.
  • මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත.
  • ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට වෘත්තිය සමිති දක්වන විරෝධය තවත් දැඩි කර ඇති අතර ඊට පිළිතුරු ලෙස රජය විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවා අතවශ්‍ය සේවා බවට නම් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
  • අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 21 වන දා අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විදුලි වෘත්තිය ක්‍රියාමාර්ග සම්න්ධයෙන් ඊයේ (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු එබව කියා සිටියේය.




මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට වෘත්තිය සමිති දක්වන විරෝධය තවත් දැඩි කර ඇති අතර ඊට පිළිතුරු ලෙස රජය විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවා අතවශ්‍ය සේවා බවට නම් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.  

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 21 වන දා අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක ජනාධිපති ධූරයට පත්ව වසරක් සම්පූර්ණ වන දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එරෙහිව මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත් කිරීම කැපී පෙනේ.


සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විදුලිබල සැපයීම සම්බන්ධ සියලූ‍ සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් එසේ ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එය නොතකමින් විදුලි සේවකයින් අඛණ්ඩව 20 වන දිනටත් තවදුරටත් වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවෙමින් සිටිති.

එවන් තත්වයක් තුළ අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා අද දින (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ ඊයේ (23) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව තීරණය වූ බවය.

විදුලි වෘත්තිය සමිති මේ වනවිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීව සියලූ‍ ප්‍රසම්පාදන කටයුතුවලින් ඉවත් වී ඇති අතර, අද සිට එම වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට ඔවුන් තීරණය කර ඇත.

වෘත්ති සමිති චෝදනා කරන්නේ, කම්කරුවන්ගේ දායකත්වය ලබා ගනිමින්, කම්කරු නායකයන්, වෘත්තිය සමිති ක්‍රියාකාරීන් බහුතරයකින් සැදුම්ලත් ආණ්ඩුවට මේ වන විට වැඩවර්ජන, උද්ඝෝෂණ ඇතුළු කම්කරු සටන්වලට මුහුණ දීමට සිදුව තිබෙන අතර පෙර පැවති රජයන් විසින් වෘත්ති සමිති ක්‍රියාමාර්ග මර්දනයට ගත් පියවරයන් වත්මන් ආණ්ඩුව ද යොදා ගනිමින් සිටින බව ය.


'සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් සටන් කරන්න ඉන්න සියලු දෙනාට මේ ආණ්ඩුව සලකන්නේ මෙහෙම'


duminda nagamuwaකම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව

විදුලි බල සේවකයන් ගෙන යන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එරෙහිව විදුලි සැපයීම අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මර්දනයට රජය ගන්නා පියවර විවේචනය කරන කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පෙන්වා දෙන්නේ, ආණ්ඩුව ඉදිරියේදී ද කම්කරුවන්ගේ සාධාරණ සටන් මෙවැනි ආකාරයෙන් මර්දනය කරනු ඇති බව ය.

"අද විදුලි සේවකයාට බෙදන හැන්ද හෙට මේ රටේ ගොවි ජනතාවට හම්බ වෙනවා. ඒ වගේ ම මේ රටේ ඊළඟට සටන් කරන්න ඉන්න සියලු බලවේගවලට, ගුරුවරු සටන් කරන්න ඉන්නවා නම් තමන්ගේ වැටුප්වලට, රාජ්‍ය සේවකයෝ ඉන්නවා නම් සටන් කරන්න තමන්ගේ වැටුප්වලට, පුද්ගලික අංශය සටන් කරන්න ලෑස්ති වුණොත් හෙට දවසේ ගෙන ඊනියා කම්කරු නීතියට මේ ඔක්කෝට ම මේ හැන්දෙන් තමයි බෙදන්නේ කියන එක අවධාරණය කරන්න ඕනේ. මේක විදුලි සේවකයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ ඉදිරියට සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් සටන් කරන්න ඉන්න සියලු දෙනාට මේ ආණ්ඩුව සලකන්නේ මෙහෙම කියන එක තමයි පෙන්නුම් කරන්නේ," ඔහු පැවසීය.

ආරම්භයේ සිට ම කම්කරුවන් අත හැර "ධනපතියන්" සමග ගමන් කරමින් සිටි ආණ්ඩුවේ එම ගමන මේ වන විට සමාජයට නිරාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

"මේ ආණ්ඩුව ආරම්භයේ ඉඳලා තෝරගෙන තියෙන්නේ මේ රටේ ධනවත් ම පැලැන්තිය. ඒගොල්ලන්ව සතුටු කරනවා, ඒගොල්ලන්ට රිදෙන්න මුකුත් කියන්නේ නැහැ. ඒගොල්ලන්ට කියනවා පුළුවන් නම් බදු ගෙවන්න කියලා. ඒ අය නොගෙවපු බදු සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. මේ රටේ වැඩ කරන පන්තියට සම්පූර්ණයෙන් මේ අර්බුදය අතහැරලා තියෙනවා."


'විදුලි බල මණ්ඩලයට ඇවිල්ලා ඉන්නේ මර්දනයේ කස කාරයා'

"වංචා දූෂණ කියලා බලයට ඇවිල්ලා ඒ වංචා දූෂණ කියන එකට එහා ගිය ප්‍රශ්නයකට තමයි සමාජය මුහුණ දීලා තිබුණේ. දැන් ඒ ප්‍රශ්නයට ප්‍රතිපත්තිමය විකල්පයක් ඉදිරිපත් කරන්නේ නෑ ඒ ප්‍රශ්නයට ඔවුන්ට තියෙන උත්තරය තමයි රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා, ජේ. ආර්ලා අරන් ගිය වැඩපිළිවෙළ. අද මේ විදුලි සේවකයින්ට කියන කොට අත්‍යවශය සේවාවක් කරනවා කියලා, හෙට කම්කරු පන්තිය හිතාගන්න ඕනේ කම්කරුවන්ට, උද්ඝෝෂණවලට පහර දෙන්නේ කොහොම ද කියලා මේ ආණ්ඩුව," යැයි දුමින්ද නාගමුව බීබීසී සිංහල සේවයට පැවසීය.

වත්මන් රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුල කියන ආකාරයට වැඩ කටයුතු කිරීමට සිදුව ඇති බවත් ඉන් පිටතට යාමට රජයේ සූදානමක් නොමැති බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්වරයා පැවසීය.


"මේ විදුලි බල මණ්ඩලයට ඇවිල්ලා ඉන්නේ මර්දනයේ කස කාරයා. ඊළඟ අවුරුදු තුන හතරේ හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ පටන් ගනිද්දි මෙහෙම නම් මේ පෙරහැර ඉවර වෙන්නේ කොහොම ද කියලා, හිතාගන්නකෝ මේ රටේ වැඩ කරන පන්තිය."

'කම්කරුවන්ට දෙන පණිවිඩය තමයි ජේ.ආර්. කරපු වැඩේ අපි උඹලට කරනවා කියලා'

1980 වසරේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරුවන් දියත් කළ මහා වැඩවර්ජනය මර්දනය කිරීමට එවකට ජේ.ආර්. ජයවර්ධන රජය විසින් 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යොදා ගත් අතර එම වැඩ වර්ජනයේදී සේවයට වාර්තා නොකළ සියලු ‍දෙනා සේවය හැර ගියා සේ සැලකිණි. ඒ අනුව කම්කරුවන් ලක්ෂයකට ආසන්න ගණනකට සිය රැකියා අහිමි විය.

කෙසේ වෙතත්, එම වෘත්තිය ක්‍රියාමාර්ගයට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විරෝධය දක්වමින් ඊට සහභාගී වූයේ නැත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණට සමීපව සිටි ලංකා ගුරු සංගමය වර්ජනයට සහය දක්වා තිබිණි.

"80 විශාල වැඩවර්ජනයක් ආවා. ඒ වැඩවර්ජනයට ජේ.ආර්. මුහුණ දුන්නේ මේ විදිහටමයි. ජේ.ආර්. අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කළා රාජ්‍ය සේවය. එතකොට ඒ අත්‍යවශ්‍ය සේවාවෙන් පිට හිටපු වැඩවර්ජනය කරපු සියලු දෙනාව රස්සාවලින් දොට්ට දැම්මා. ලක්ෂයකට ආසන්න ගණනක් කම්කරුවෝ රස්සාවලින් දොට්ට දැම්මා. මේ අත්‍යවශ සේවා ගැසට් නිවේදනය ගහනවා කියලා කියන්නේ මේ පරණ රූප, පැරණි නාට්‍ය තමයි අපිට මතක් කරන්නේ. කම්කරුවන්ට දෙන පණිවිඩය තමයි ජේ.ආර්. කරපු වැඩේ අපි උඹලට කරනවා කියලා," දුමින්ද නාගමුව පැවසීය.

'වෘත්තිය සමිති නායකයන්ගේ ආණ්ඩුව, වෘත්තිය ක්‍රියාමාර්ග මර්දනය කිරීම'

joshp stalinලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලීන්
පැවති සියලු මර්දනවලින් පීඩා විඳ බලය ලබා ගත් කණ්ඩායමක් ඔවුන් මර්දනය සඳහා යොදා ගැනුණු අණ පනත් ඔවුන් විසින් ම වැඩ කරන පන්තියට එරෙහිව ක්‍රියාත්මක කිරීම "භයානක තත්ත්වයක්" බව 'බීබීසී සිංහල සේවය වෙත පවසා ඇති ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලීන්, තවදුරටත් මෙසේ සඳහන් කර තිබිණ.

"පැවති සියලු මර්දනයන්ට මුහුණ දීලා, ඒ මර්දනයන්ගෙන් බරපතළ පීඩා විඳලා හිටපු කණ්ඩායමක් තමයි මේ බලයට ආවේ. එහෙම ඇවිල්ලා ඔවුන්ව මර්දනය කරන්න පාවිච්චි කරපු අණ පනත් ම ඔවුන් අනිත් පැත්තට, මේ වැඩ කරන පන්තියට පාවිච්චි කරනවා නම් ඒ තරම් භයානක තත්ත්වයක් තවත් නැහැ."

අත්‍යවශ්‍ය සේවා පනත පැවති සෑම රජයක් විසින් ම අත්‍යවශය නොවන තත්ත්වවලදී පවා වෘත්ති ක්‍රියාමාර්ග මර්දනයට යොදා ගන්නා ලද බව පවසන වෘත්තිය සමිති නායකයා, ඒවාට මුහුණු දුන් නායකයන් බහුතරයක් සිටින ආණ්ඩුවක් විසින් එම පනත් ගෙන ඒම කණගාටුදායක බව ද සඳහන් කරයි.

'හිටපු ආණ්ඩුත් ඕක නේ කළේ, ඕක තමයි රනිලුත් කළේ'

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වෘත්ති ක්‍රියාමාර්ගවලට කරන තර්ජන හා හෑල්ලුවට ලක් කිරීම ගැන ද ලංකා ගුරු සංගමේ නායකයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වා තිබුනේ මෙසේය.

"වෘත්ති සමිති නායකයින්ගෙත් නායකයෝ කියා ගන්න සමහර ඇමතිවරු වෘත්තිය සමිතිවලට තර්ජනය කරනවා. ලාල්කාන්ත සහෝදරයා කියනවා නේ අම්මා මාළු කපනකොට පූසා මාළු කෑවේ දෙපැත්තේ කෑගහන ඒවා අහන්නේ නැතුව කියලා. ඒ වෘත්තිය ක්‍රියාමාර්ග හෑල්ලුවට ලක් කිරීමක්, ඕන කෙනෙක් ඕන විදිහට කෑගහ ගන්න අපේ වැඩේ අපි කරනවා. මාර කතාවක්නේ ඒක. හිටපු ආණ්ඩුත් ඕකනේ කළේ.

"තැපැල් අරගලේ ආවා ම ඔවුන්ගේ නිවාඩු අවලංගු කළා. ඊට පස්සේ ඔවුන්ට පඩි දෙන්නේ නෑ කියලා කිව්වා. විවිධාකාර තර්ජන කිරීම් කළා. ඒ වගේ ම අපි දැක්කා දුම්රිය නායකයින්ට කිව්වා කැත ම වෘත්තිය සමිති ව්‍යාපාරය දුම්රිය සේවය කියලා. CTB එකට ගියා ම ඒ වෘත්තිය සමිති නායකයන්ට බනිනවා. දැන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ නායකයන්ට බනිනවා. මේ ආණ්ඩුව හිතන් ඉන්නේ අපි මාර පිරිසිදුයි, කිසි ම වරදක් අපේ අතින් වෙන්නේ නෑ, උඹලා අපි කියන දේ කරන්න ඕනේ කියලා. නමුත් ආණ්ඩුව කරන්නේ IMF එක කියන දේ. ඕක තමයි රනිලුත් කළේ.

"අපි තමයි වෘත්ති සමිති කප්පිත්තෝ කියා ගන්න තමයි මේ මර්දනය කරන්න ලෑස්ති වෙන්නේ. තමන් ම බැට කාපු පනත් අනිත් අයට ම පාවිච්චි කරනවා කියන්නේ ඇත්තට ම ඒක බරපතළ තත්ත්වයක්," යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පෝසෆ් ස්ටාලින් අවධාරණය කරයි.

චෝදනා ගැන ආණ්ඩුව කියන්නේ කුමක් ද?

mahinda jayasinghaකම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
රටටත්, සේවකයන්ටත් වඩා යහපත් ලෙස විදුලි බල පනත සංශෝධනය කර තිබියදී ඒ සියල්ල නොසලකා අසාධාරණය ඉල්ලීම් ඉදිරිපත් කරන විට ආණ්ඩුවක් ලෙස ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ බීබීසී සිංහල වෙත පවසා ඇත.

"අපි පහුගිය පාලකයින් මේක විනාශ කරන්න හදනකොට ඒකට විරුද්ධව සටන් කළා. හැබැයි අද ඒ විනාශය වෙනුවට අපි මේක ආරක්ෂා කරමින් ඉදිරියට යන්න හදනකොට ඒකට එරෙහිව වෙනත් කවුරුහරි ක්‍රියාත්මක වෙනවා නම් වෙනත් දේශපාලන උවමනාවන් මත ඒක සම්බන්ධව අපිට තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා.

"විපක්ෂයේ ඉද්දි අපි අසාධාරණ සටන් කරලා නෑනේ. අපි නිවැරදි අයිතිවාසිකම් වෙනුවෙන් තමයි සටන් කළේ. මෙතන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි කරපු සටනුයි මේකයි කිසිසේත් ම සංසන්දනය කරන්න බැහැ," යැයි නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියි.

විදුලි බල වෘත්තිය සමිති ගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ගය ප්‍රගතිශීලි සටනක් නොවන බවත් වත්මන් ආණ්ඩුව තුළ සාකච්ඡාවට සහ සම්මුතියට ඕනෑ තරම් ඉඩ ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ තවදුරටත් කියා සිටියි.


(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බැරිනම් වන්දි අරන් යන්න - ආණ්ඩුව යළිත් විදුලි සේවකයින්ට කියයි | The Leader