මැල්සිරිපුර පන්සිළුගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ ගමන් පහසුව සඳහා යොදාගෙන ඇති ඩක්කුවක කේබලයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් සේනාසනවාසී හිමිවරු හත්නමක් අපවත්ව ඇති බව වාර්තා වේ.
අපවත්වී ඇති හිමිවරු අතර විදේශීය හිමිවරු තුන්නමක් සහ ලාංකික හිමිවරු සිව්නමක් වන බව පන්සිළුගම පොලිසිය පවසයි.
එම විදේශීය හිමිවරු රුමේනියාව, රුසියාව සහ ඉන්දියාව යන රටවල බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් තවත් හිමිවරු සයනමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ඊයේ (24) රාත්‍රී 9.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් එම කේබල් ඩක්කුවේ හිමිවරු 13 නමක් සිට ඇති බවයි.
මෙම ආරණ්‍ය සේනාසනයේ මේ මොහොත වන විට විදෙස් හිමිවරු කිහිප නමක් ද වැඩ සිට ඇති බව ද මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ භික්ෂූන්වහන්සේ ඩක්කුවේ නැගී කඳු මුදුනේ ඇති භාවනා කුටිවලට ගමන් කරමින් සිටීයදී කඳු මුදුන ආසන්නයට ළඟා වෙද්දිම බව පන්සිළුගම පොලිසිය සඳහන් කරයි.
තරුණ භික්‍ෂූන්වහන්සේ මෙන්ම වයස්ගත භික්ෂූන්වහන්සේ මෙම අනතුරින් තුවාල ලබා සහ අපවත්ව සිටින බව කුරුණෑගල රෝහල් තොරතුරු සඳහන් කරයි.
මෙම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ සිටින හිමිවරු දශක ගණනාවක් තිස්සේ මෙම කේබල් ඩක්කුව යොදාගෙන සිය නිදන කුටි වෙත වැඩම කරන බවට වාර්තා වෙයි.




