ශීලාචාර ශිෂ්ටසම්පන්න ජන සමාජයක මනුෂ්‍යත්වය රජයන යුගයක මේ සම්බන්ධයෙන් විවාදයක් නොමැති බවත් දූ දරුවන්ට හිංසනයෙන් තොරව ජීවිතයක් උදා කරවීමට සියලු දෙනාම එකඟ වන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (25) පාර්ලිමේන්තුවේ දී ළමා හා යෞවනයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ විවාදයට එක්වෙමිනි.
එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
පෙර පාසලේ සිට ම මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි
''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමෙ මූලධර්ම හා මූලික යුතුකම් යන හයවෙනි පරිච්ඡේදයෙන් ළමයින් හා යෞවනයෙන් කායික, මානසික, සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් කිරීම රජයේ යුතුකමක්. හයවෙනි පරිච්ඡේදයේ සඳහන් අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29වෙනි පරිච්ඡේදයෙන් අහිමි වන නිසා මේ හයවෙනි පරිච්ඡේදයේ සඳහන් අයිතිවාසිකම් මූලික හා මානව අයිතිවාසිකමක් බවට පත්කළ යුතු යි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන නිසා ඒ තුළින් ළමා හා යෞවනයන්ගේ අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකමක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වෙලා තියෙන්නෙ බටහිර කේන්ද්‍රීයව යි. ඒ නිසා මෙහි දී අප සලකා බැලිය යුත්තේ සමූහයක් ලෙස මානව අයිතිවාසිකම් යන මාතෘකාව ලෙස බල දේශපාලන, සිවිල් අයිතිවාසිකම් ඇතුළුව ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික ජීවත් වීමේ අයිතිය ද අධ්‍යාපනය සෞඛ්‍ය ආදිය ද ඊට ඇතුළත් විය යුතු යි.
පෙරපාසල් අධ්‍යාපනය විශේෂයි
උපතේ සිට අවුරුදු 5 දක්වා 70%ක මොළයේ වර්ධනයක් වෙනවා. මේ කාලයේ අප රටේ ඇත්තේ අවිධිමත් පෙර පාසල් ක්‍රමයක්. පාසලේ ගුරුවරයාගේ ගුරුවරියගේ නිවසේ දෙමාපියන්ගේ වගකීම ගැන සිතිය යුතු යි. දරුවන් ශීලාචාර, යුක්තිගරුක විනයගරුක තරුණයෙක් පුරවැසියෙක් බවට පත් කිරීමේ ක්‍රියාදාමය තුළ හොඳ නරක කියාදීමේ ක්‍රියාදාමය ගැන ගැඹුරින් සිතා බැලිය යුතු යි.
අයිඑම්එෆ් ගිවිසුමේ විධිවිධාන තුළ දරුවන්ගේ ආර්ථික අයිතිය ශක්තිමත් ද?
ආහාර සුරක්ෂිතභාවය නැතිව දරුවන්ගේ අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද කියා ගැටලුවක් පවතිනවා. රටේ ජනගහනයෙන් 50%ක් දුප්පත් වන විට දරුවන්ගේ අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද කියා ගැටලුවක් පවතිනවා. කෘෂ වීම, මිටි වීම, මන්දපෝෂණය, අඩුබර, මාතෘ පෝෂණය දරුවන්ට බලපානවා. ඒ අයිතිවාසිකම් ද සුරක්ෂිත කළ යුතු යි.
මේ ඇති කර ගත් අයිඑම්එෆ් ගිවිසුමේ විධිවිධාන තුළ දරුවන්ගේ ආර්ථික අයිතිය ශක්තිමත් වනවාද කියා ගැටලුවක් පවතිනවා. අයිඑම්එෆ් ගිවිසුම අවශ්‍ය වුවත් මේ නිසා පවුල් මත ඇතිවන පීඩනය නැති විය යුතු යි. එය වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණත් එය සිද්ධ වුණේ නැහැ. අන්ත සමාජවාදය තුළවත් අන්ත ධනවාදය තුළවත් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නෙ නැහැ. මේ සඳහා ලෝකයේ උදාහරණ තියෙනවා.
රටට අවශ්‍ය මැද මාවතක්
කුසගින්නෙන් තොර ජිවිතයක් දරුවන්ට අවශ්‍ය යි. ඒ සදහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළෙදපොළ මැද මාවත අවශ්‍ය වුනත් රජය නවලිබරල්වාදී මුලධර්ම මත පදනම් වූ අයිඑම්එෆ් ගිවිසුම අනුමත කිරිම නිසා දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මුසු කර ගත් මැද මාවතක් කරා ය යුතු යි.
මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට දැඩි පියවර ගත යුතු යි
කාලයක් පුරා අප රටේ පාසල් පද්ධතිය මත් රකුසා ගිලගෙන තිබෙනවා. ඊෂි කෑෂ් හරහා මත්ද්‍රව්‍ය පැතිරෙනවා. සෑම විට ම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට දැඩි පියවර ගත යුතු යි. එය දරුවන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමක්.''




