ඔහු මෙලෙස පැවසුවේ "අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - කියන දේ සහ නොකියන දේ" යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ (25) කොළඹ 07, විජේරාම සිංහ සමාජ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද සම්මන්ත්‍රණයේ දී ය.
එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල මද්දුමගේ...
රජයට අධ්‍යාපනය සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ
"පහුගිය කාලේ ආධ්‍යාපනය ගැන රටේ ලොකු කතාවක් නිර්මාණය වුණා. හැබැයි මත්‍ද්‍රව්‍ය සිද්ධිය වගේ විවිධ සංදර්ශන එක්ක දැන් මේ සාකාච්ඡාව යට ගිහිල්ලා තියෙන්නේ. නමුත් පක්ෂයක් විදිහට අපි හිතන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකාච්ඡාව එහෙම යට යා යුතු නැහැ කියලා. විශේෂම දේ තමයි මේ වෙලාවේ රටේ අධ්‍යාපනය පූර්ණ වෙනසකට ලක් විය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපිත් ඉන්නේ. ඒ ගැන අපිට කිසිම විවාදයක් නෑ. මොකද දැනට තියන අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපිට රටක් විදිහට සමාජයක් විදිහට කොහොමවත් ඉස්සරහට යන්න පුළුවන් කමක් නෑ.
නමුත් රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒ සම්බන්ධයෙන් රජයට තියෙන්න ඕන නිශ්චිත වැඩපිළිවෙළක්. කල්පිතයක් ඔළුවේ තියාගෙන කට වචනයට රටේ අධ්‍යාපන පද්ධතිය වෙනස් කරන්න යනවනං ඒක වැරදියි.
කෑලි එකතු කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්
නිදහස් අධ්‍යාපන පනත ආව වෙලාවේ ඉඳලා මේ දක්වා රාජ්‍ය බලය හසුරවපු සියලු ආණ්ඩු අධ්‍යාපනය සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් එළියට දැම්මා. ඒ වගේම තමයි ඒ සියලු වාර්තා සකස් කරපු කමිටුවක් හිටියා. ආසන්නම උදහරණය තමයි රනිල් වික්‍රමසිංහ ගෙනාව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව. ඊට කලින් ගෝඨාභය රාජපක්ෂ ගෙනාව උපාලි සේදර කමිටු වාර්තාව.
මේ සියලු වාර්තාල අඩංගු වුණේ ජනාතාද්‍රෝහී යෝජනා. ඒ නිසා මේ වාර්තා සියල්ලම වගේ ජනතා අරගල හමුවේ හකුළගන්න පාලකයන්ට සිදු වුණ. නමුත් මේ සියලු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වුණේ නිශ්චිත ලේඛනයක් එක්ක. නමුත් දැන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එහෙම නිශ්චිත වැඩපිළිවෙළක් නෑ. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණවල වගකීම ගන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නෙත් නෑ.
මං දැක්කා එක වෙලාවක අගමැතිතුමිය කියනවා මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අනුර - හරිනි ප්‍රතිසංස්කරණ කියලා නම් කරන්න එපා කියලා. එහෙම නම් අපිට මේ ප්‍රතිසංස්කරණ නම් කරන්න වෙන්නේ රනිල් - රාජපක්ෂ - අනුර - හරිනි ප්‍රතිසංස්කරණ කියලා තමයි. මොකද රනිල්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන්, ගෝඨාභයගේ උපාලි සේදර කමිටු වාර්තාවෙන් කෑලි කෑලි එකතු කරපු අමුතුම ප්‍රතිසංස්කරණයක් තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව මේ කර තියාගෙන යන්නේ.
ආණ්ඩුවේ ඇත්ත අරමුණ
ආණ්ඩුව කොච්චර හංගන්න උත්සහ කළත් ඇත්තටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රටේ ජනතාවට ආදරේට අරගෙන එන එකක් නෙවෙයි. ලෝක බැංකුවේ වැඩපිළිවෙළක් අනුව අපේ රටේ අධ්‍යාපනය වෙළඳපොළට ගැළපෙන විදිහට වෙනස් කරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණය මුදලක් අනුමත වුණා. ඒ, පිලිපීනයේ මැනිලා නගරයේ දී. නමුත් ඒ ණය මුදලින් ඩොලර් මිලියන 200යි අපට ලැබුණේ. අදටත් ආසියනු සංවර්ධන බැංකුවේ නිල වෙබ් අඩවියට ගියාම ඕන කෙනෙක්ට මේ ණය ව්‍යාපෘතිය ගැන තොරතුරු දැනගන්න පුලුවන්.
දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව වේගයෙන් ක්‍රියාත්මක කරගෙන යන ජනතාද්‍රෝහී IMF වැඩපිළිවෙළේ කොන්දේසි අනුව අපේ ඩොලර් සංචිත ප්‍රමාණය 2025 අවුරුද්ද අවසන් වෙද්දි බිලියන හතක් දක්වා වැඩි කරගන්න ඕන. නමුත් දැනට තියෙන්නේ ඩොලර් මිලියන 6107යි අපිට තව ඩොලර් මිලියන 1067ක පමණ හිඟයක් තියනවා. දැන් අණ්ඩුවට ඕන මොනව හරි කරලා ඩොලර් හොයන්න. ඒකට හොඳ තුරුම්පුවක් තමයි ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන්න තියන ඉතිරි ඩොලර් මිලියන 200ක ණය මුදල කොහොම හරි ලබාගැනීම. නමුත් මේ දෙසැම්බර් මාසෙ වෙද්දි ඔවුන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ සම්පූර්ණ නොකළොත් ඒ ණය මුදල ලැබෙන්නේ නෑ. ඒක නිසා තමයි නිශ්චිත වැඩපිළිවෙළක් කරන්නේ මොකක්ද කියලා නිශ්චිත අදහසක් නැතුව ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අරගෙන එන්නේ.
ගෝලීය ප්‍රාග්ධනයේ හස්තයෙන් එළියට ඇවිත් සමාජයේ ප්‍රගමණය සඳහා සුදුසු අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරන්න සහ එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තරම් මේ ආණ්ඩුවට කොන්දක් නෑ. ඒ ඛේදවාචකයකට වන්දි ගෙවන්න වෙන්නේ රටේ අනාගත පරම්පරාවට.
ආණ්ඩුව පාසල් දකින විදිය
දැන් අනුර දිසානායක තැන තැන ගිහිල්ලා කියනවා ළමයි අඩු පාසල් වහන්න ඕන කියලා. එවැනි පාසල්වලට ප්‍රතිපාදන වෙන් කිරීම පාඩුවක් විදිහට තමයි ආණ්ඩුව දකින්නේ. එතකොට ආණ්ඩුව රටේ අධ්‍යාපනය සලකන්නේ මානව සංවර්ධනේ සන්ධිස්ථානයක් විදිහට නෙවෙයි. ආණ්ඩුවට පාසල් පේන්නේ ව්‍යාපාරික ස්ථාන විදිහට.
එක වෙලාවකට හරිනි ඇවිත් කියනවා රටේ සෑම දරුවෙක් ම හය වසරෙදි වෛද්‍යවරයෙක් ළඟ දින තුනක පුහුණුවකට යවන්න ඕනලු. රටේ අධ්‍යාපන ඇමතිවරියට තමන් කරන්නේ මොක්ද කියලවත් අවබෝධයක් නැතිකම තමයි මේකෙන් පේන්නෙ. සැලෝන් එහෙක කොණ්ඩෙ කපන්න උගන්නනවා වගේ සරලව තමයි මේගොල්ලො ඉගැන්වීම සහ ඉගෙනුම් ක්‍රියාවලිය ගැන හිතාගෙන ඉන්නේ. හැබැයි දැන් සැලෝන් රස්සාවක්වත් එහෙම ඉගෙන ගන්න පුළුවන් කමක් නෑ. ඒක තමයි ඇත්ත.
අධ්‍යාපන මාෆියාවක් නිර්මාණය වෙන ලකුණු
මේ නවලිබරල් වෙළඳපොළට මානවහිතවාදී මිනිස්සු ඕන නැහෑ. ඔවුන්ට ඒ ඒ විෂයවල ප්‍රවීණයෝ ඕන නැහෑ. ඔවුන්ට භාෂාව සම්බන්ධ විශේෂඥයන් අවශ්‍ය නෑ. නවලිබරල් වෙළඳපොළට ඕන ශ්‍රමිකයෝ ටිකක්. ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් කරපු අධ්‍යාපන වැඩපිළිවෙළේ අරමුණත් ඒක. ඔවුන්ට ඕන වෙලා තියෙන්නේ ගෝලීය ප්‍රාග්ධනයට ලාභ උපයා දෙන ශ්‍රමිකයෝ ටිකක් අපේ රටෙන් නිර්මාණය කරගන්න.
ආසියානු සංවර්ධන බැංකුවට ඕන නෑ අපි වගේ රටවල නිෂ්පාදන ආර්ථිකයක් හදන්න. ඒ නිසා තමයි ඔවුන් උත්සහ කරන්නේ අපේ අධ්‍යාපනය අර්බුද යට යවලා ඒ තුළින් මේක ඇතුළට ප්‍රාග්ධනය රිංගවන්න. ඊට පස්සෙ වෙන්නේ පෞදගලීකරණය වුණු අධ්‍යාපන කඩ ජාලයක් ලාභය වෙනුවෙන් මුළු සමාජයම සූරාකන අධ්‍යාපන මාෆියාවක් නිර්මාණය වෙන එක.
ලාභදායී ළමා ශ්‍රමිකයෙක් නිර්මාණය කිරීමේ අරමුණ
මේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ එක තැනක තියනවා නවය පන්තියේදී ජාතික විභාගයක් පවත්වනවා කියලා. ඒ අතරම අනිත් පැත්තෙන් වයස අවුරුදු 14 සම්පූර්ණ වුනාම රැකියාවක් කරන්න පුළුවන් විදිහට නව කම්කරු නීති සකස් කරමින් යනවා.
එතකොට මේකේ යටි අරමුණ තමයි නවය වසරෙදි ළමුන්ව පාසල් හැරයාම සඳහා උනන්දු කරවීම. මොකද මේ විභාගෙන් පස්සේ ළමයි උත්සහ කරන්නේ අනිවාර්යයෙන් රැකියාවකට යන්න. එතකොට මෙතන තියෙන්නේ ලාභදායී ළමා ශ්‍රමිකයෙක් නිර්මාණය කිරීමේ අරමුණක්. එහෙම නැතුව දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය කරන්න ඕන වගේ සද් භාවයකින් ගේන වැඩපිළිවෙළක් නෙවෙයි ආණ්ඩුව මේ අරගෙන එන්න උත්සහ කරමින් ඉන්නේ.
හිතුමතේ පාසල් වැසුවොත්...
ඊළඟට ආණ්ඩුව ප්‍රබලවම කියන කතාවක් තමයි ළමුන් අඩු පාසල් වහනවා කියන කතාව. ලංකාවේ ළමයි සියයට අඩු පාසල් 2000කට වැඩියි. ඒ පාසල්වල ළමුන් 1,65,000ක් පමණ අධ්‍යාපනය ලබනවා. ආසන්න වසයෙන් අපි අනුමාන කළොත් එක පවුලකින් ළමුන් දෙදෙනෙක් පාසල් යනවා කියලා පවුල් 80,000ක ළමයි මේ ඉන්නේ. එතකොට පවුල් අසූදාහක අධ්‍යාපනයට අදාළ ප්‍රශ්නයක් අපි ළමයි සීයට අඩු පාසල් වහනවා වගේ සරලව ගන්නේ කොහොමද ?
අපි දන්නවා ලංකාවේ සමහර පාසල් තියනවා කුලවලට සීමා වෙච්ච. අන්න එහෙම පාසල් වහන්න ඕන. ලෝක අධ්‍යාපන මනෝවිද්‍යාව නිර්ණායකවලට අනුව පාසල් පන්ති කාමරයක ඉගෙනගත යුතු උපරිම ළමුන් ප්‍රමාණය 20 - 30 අතර. හැබැයි මේ ආණ්ඩුව බලයට ඇවිත් ගැසට් එකක් ගැහුවා ලංකාවෙ පන්තිකාමරයක උපරිම ළමුන් සඛ්‍යාව 40යි කියලා. නමුත් ළමුන් හාර පන්දාහා ඉන්න පාසල්වල එක පන්තියක ළමුන් 50 - 60 අතර ඉන්නවා.
අපි කියන්නේ මෙන්න මේවා අවධානයට ගන්න කියලා. නැත්තං හිතුමතේ පාසල් වහන්න යන එකෙන් වෙන්නේ දුෂ්කර පළාත්වල ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන එක. මොකද දුර ගිහින් ඉගෙන ගන්නවා කියලා දෙයක් නැවත ඔවුන් ගේ ජීවිතවල වෙන්නේ නෑ.
පාසල් ප්‍රතිස්ථාපන වැඩපිළිවෙළ කෝ...?
දැන් අපි මේවා කියනකොට ආණ්ඩුව කියනවා එහෙනම් කරන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝ කියන්න කියලා. අපි අහන්නේ කෝ ජනාධිපතිවරණයට කලින් අනුර මැතිවරණ වේදිකාවල කයිවාරු ගැහුව පාසල් ප්‍රතිස්ථාපන වැඩපිළිවෙළ...? අන්න ඒ වැඩපිළිවෙළ මුලින්ම එළියට දාන්න. ඊටපස්සෙ අපි සාකාච්ඡා කරමු ඒ වැඩපිළිවෙළේ අඩුපාඩු මොනවද වෙනස් වෙන්න ඕන මොනවද කියලා. එහෙම නිශ්චිත වැඩපිළිවෙළක් නැතුව දේව වාක්‍ය වගේ ආණ්ඩුව කියන කට වචනේ විස්වාස කරන්න අපි සූදානම් නෑ.
අනිත් එක තමයි ඔහොම හංගලා ගේම් ගහන්න නෙමෙයි මේ ආණ්ඩුවට මිනිස්සු ඡන්දෙ දුන්නේ. ආණ්ඩුවට අයිතියක් නෑ ලෝක බැංකුවේ උවමනාවන්ට මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය විනාශ කරන්න. අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ.
රනිල්ට වඩා දශමයක් ඉදිරියෙන්
ආණ්ඩුවට රටේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඇත්තටම කැක්කුමක් තියනවනං මුලින්ම කරන්න ඕන ගෝලීය ප්‍රාග්ධනයේ පදයට නටන එක නවත්වන එක. ලෝක බැංකුව තක්කිට තරිකිට කියලා ගහන පදේට අනුරයි හරිනියි නටන්න හිතුණා කියලා නටනවා. අපි කියන්නේ අන්න ඒ නැටිල්ල ඉස්සෙල්ලාම නවත්වන්න. ඊටපස්සෙ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පුළුල් සාකාච්ඡාවක් ආරම්භ කරන්න. ඒකට සම්බන්ධ කරගන්න විශ්වද්‍යාල ආචාර්‍යවරුන්ව, පාසල් ගුරුවරුන්ව, ශිෂ්‍යයන්ව, දෙමාපියන්ව, විෂය ප්‍රවීණයන්, අධ්‍යාපනඥයන්, මනෝ විද්‍යාඥයන් මේ හැමෝම එකතුකරගෙම තමයි මේ සංවාදය ඉදිරියට ගෙනියන්න ඕන.
ඊළඟ කාරණය තමයි අධ්‍යාපනය ප්‍රතිපාදන වෙන් කිරීම. බොරු බයිලා ගැහුවට මේ ආණ්ඩුව රනිල්ට වඩා දශම එකයි අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වැඩි කළේ. එහෙම බෑ රටේ අධ්‍යාපනය සංවර්ධනය කරන්න. අද රටේ පාසල් විශ්වවිද්‍යාල මේ සියල්ල ම තියෙන්නේ අවම පහසුකම් ටිකවත් නැති තත්ත්වයක. වැසිකිළි පහසුකම් නෑ, නේවාසිකාගාර නෑ, විදුලිය නෑ, පුස්තකාල විද්‍යාගාර පහසුකම් නැති පාසල් දහස් ගණං තියනවා. ළමයින්ට පිරිසිදුවට කෑම කන්න කැන්ටින් එකක්වත් මේ පාසල්වල වගේ ම විශ්වවිද්‍යාලවල නෑ. ඒ නිසා මුලින්ම මෙන්න මේ ප්‍රශ්න ටික විසඳන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා.''
(සටහන - ජයසිරි අලවත්ත)
කට වචනයට රටේ අධ්‍යාපන පද්ධතිය වෙනස් කරන්න බැහැ - මංගල මද්දුමගේ
T
The Leader Desk
September 26, 2025 • 3:46 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙලෙස පැවසුවේ "අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - කියන දේ සහ නොකියන දේ" යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ (25) කොළඹ 07, විජේරාම සිංහ සමාජ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද සම්මන්ත්‍රණයේ දී ය.
- ආණ්ඩුවේ ඇත්ත අරමුණ ආණ්ඩුව කොච්චර හංගන්න උත්සහ කළත් ඇත්තටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රටේ ජනතාවට ආදරේට අරගෙන එන එකක් නෙවෙයි.
- ලෝක බැංකුවේ වැඩපිළිවෙළක් අනුව අපේ රටේ අධ්‍යාපනය වෙළඳපොළට ගැළපෙන විදිහට වෙනස් කරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණය මුදලක් අනුමත වුණා.
- නමුත් ඒ ණය මුදලින් ඩොලර් මිලියන 200යි අපට ලැබුණේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



