සංකේත උපවාසයක් උතුරේ සමුහ මිනී වළක් සමීපයේ ආරම්භ කරද්දී, අතුරුදහන්වුවන් වෙනුවෙන් ඉකුත් අයවැයෙන් වෙන්කළ වන්දි මුදල් බෙදා දීම කඩිනම් කරන ලෙස බලකරමින් දකුණේ විරෝධතාවයක් දියත්ව තිබේ.
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවට යාම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා ජිනීවා නුවර ගොස් සිටියදී, උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් සැප්තැම්බර් 25 වැනි බ්‍රහස්පතින්දා චෙම්මනි සමුහ සුසානය සමීපයේ උපවාසය ආරම්භ කර තිබුනේ අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා සිටීම වෙනුවෙනි.

මාතර දිස්ත්‍රික්කයේ අතුරුදහන් පවුල් වල සාමාජිකයන් සමග පසුගියදා දියත් කළ විරෝධතාවයකදී අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු රජයට බල කර සිටියේ අතුරුදහන් පවුල් වෙනුවෙන් ගෙවීමට පසුගිය අය වැයෙන් වෙන් කර තිබෙන රුපියල් මිලියන 1000 ක මුදල මේ වසර අවසන් වන්නට මත්තෙන් එම පවුල් වලට බෙදා දෙන ලෙසයි.
මිනිස් සිරුරු 240ක් මේ වන විට පාදාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම චෙම්මනි සමූහ සුසානය සමීපයේ ආරම්භ කළ සිව්දින සංකේත උපවාසයට නායකත්වය දෙන උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් සිවානන්දන් ජෙනීටා මාධ්‍යවේදීන් හමුවේ ජාත්‍යන්තරයට අවධාරණය කළේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට ජාත්‍යන්තර යුක්තිය ඉටු කිරීම තව දුරටත් කල් නොයවන ලෙසයි.
"අතුරුදහන් වූවන්ට දේශීය යාන්ත්‍රණයක් අවශ්‍ය නැහැ. ජාත්‍යන්තර යාන්ත්‍රණයක් හරහා යුක්තිය ඉටු කළ යුතුයි. අපගේ ඥාතීන් ඝාතනය කර මෙම චෙම්මනි සමූහ මිනීවළේ වළදා තිබෙනවා. ඔවුන්ගේ කවුදැයි සොයා ගත යුතුයි. ඔවුන් කුමන ආකාරයේ වධහිංසාවලට ලක් උනාද කියලා සොයා ගත යුතුයි. යුක්තිය ඉටු කළ යුතුයි. ජාත්‍යන්තර ප්‍රජාවට අපි කියන්නේ තව දුරටත් කල් නොයවා අපට ජාත්‍යන්තර යුක්තිය ඉටු කරන්න කියලයි. "
විදේශ අමාත්‍ය විජිත හේරත් සැප්තැම්බර් 09 වැනිදා ජිනීවාහි දී ජගත් මානව හිමිකම් ප්‍රධනියාට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුනේ දැනට සිදු කෙරෙමින් පවතින ජාතික සංහිඳියා ක්‍රියාදාමය අවුල් කරමින්, බේද ඇති කරන, ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය වැනි කිසිදු බාහිර යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව මත පැටවීමට ආණ්ඩුව විරෝධය පල කරන බවයි.
අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයටද සිව්දින සංකේත උපවාසයේ යෙදී සිටින උතුරු නැගෙනහිර යුද වින්දිත දෙමළ මව්වරුන් විරෝධය පළකරන බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.
සත පහක් පාවිච්චි කරලා නැහැ
මාතර දිස්ත්‍රික්කයේ අතුරුදහන් පවුල් වල සාමාජිකයන් සමග සැප්තැම්බර් 20 වැනිදා දියත් කළ විරෝධතාවයකදී අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර තිබුනේ එක් පවුලකට රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවීම සදහා වත්මන් ආණ්ඩුවද පසුගිය අයවැයෙන් මිලියන දහසක මුදලක් වෙන් කළද මේ දක්වා එම මුදල් වලින් කිසිදු වින්දිත පවුලකට ගෙවීම් සිදු කර නොමැති බවයි.
"දැන් මේ ආණ්ඩුව යටතෙත් ගිය බජට් ඒකේ අනුර කුමාර සහෝදරයා මුදල් ඇමැති හැටියට වෙන්කළා මිලියන 1000 ක් ලක්ෂ දෙක ගානේ ගෙවන්න. නමුත් මොන හේතුවක් නිසා හෝ මේ ආණ්ඩුව තවම ඒ වෙන් කරපු මුදලින් සත පහක් පාවිච්චි කරලා නැහැ."
මේ වසරේ ඉතිරිව ඇති ඉදිරි මාස තුන ඇතුලත එම මුදල් ගෙවීම සිදු නොකළහොත් මිලියන ගණනක එම වන්දි මුදල ආපිට භාණ්ඩාගාරයට යැවීමට සිදු බව බව පෙන්වා දුන් මානව හිමිකම් ක්‍රියාධාරයා ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් ආයාචනා කර සිටියේ අතුරුදහන්වුවන්ගේ පවුල් වෙනුවෙන් ස්ථිර වන්දි ක්‍රමයක් ඇති කරන තෙක්, අය වැයෙන් මේ වන විටත් වෙන් කර ඇති මුදල් වලින් අසරණ මව්වරුන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසයි.
වින්දිත පවුල් සදහා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් දේශිය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජාතික මට්ටමේ කාර්යාංශ ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු ආණ්ඩුවෙන් වැඩි දුරටත් ඉල්ලා තිබුනි.
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන මුල්ම කාලාන්තර සමාලෝචනය සදහා 2025 සැප්තැම්බර් 26 වැනි දින රැස්වීමට නියමිතය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සමග අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජිනිවාහි නිත්‍ය නියෝජිත කාර්යාලයේ ඉහළ පෙලේ නිලධාරීන් ඒ සඳහා සහභාගිවීමට නියමිතව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.
2016 වසරේ සිට ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ සම්මුතියේ පාර්ශවකරුවකුව සිටී.





