සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් චෝදනා කරන්නේ වකුගඩු දෙකම ඉවත් කිරීමෙන් පසු ළදරුවා මිය යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරන ලද විමර්ශන වාර්තාවද මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවයි.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සැත්කම් සිදු කළ හම්දි ෆස්ලීම් ළදරුවා 2023 වසරේ මියගොස් ඇත්තේ රෝගී වකුගඩුවක් සමග නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීම නිසාවෙන් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
සැප්තැම්බර් 24 වැනි බදාදා පාර්ලිමේන්තුවේදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ දරුවාගේ වකුගඩු සැත්කම් සිදු කළ වෛද්‍යවරයාත්, ඔහුගේ සහායකයාත් දරුවාගේ මරණයත් සමගම විදෙස් ගතව ඇති බවයි.
“ විශේෂයෙන්ම හම්දි ෆස්ලිම් කියන දරුවෙක්, අවුරුදු එක හමාරක දෙකක දරුවෙක්. අපි සියළු දෙනාම දන්නවා කොළඹ රිජ්වේ ළමා රෝහලට 2021 පෙබරවාරි මාසේ ඔහුට ඇති වෙච්ච අසනීප පරීක්ෂණයකින් ඔහුගේ වකුගඩු දෙනෙක් එක වකුගඩුවක ප්‍රශ්නයක් ඇති උනා වම් පැත්තේ. ඒකට ශෛල්‍ය කර්මයක් කරා 2022 දෙසැම්බර් මාසේ 24 වැනි දින. 2023 ජුලි 27 වැනිදා ඒ දරුවා මිය යනවා. ඒ මිය ගියාට පස්සේ පරීක්ෂණ වාර්තා වල සදහන් වෙන්නේ ඒ ළමයාගේ වකුගඩු දෙකම අයින් කරායි කියන සිද්ධිය. ඒ ශෛල්‍ය කර්මය කරපු වෛද්‍යවරයා හා ඔහුගේ සහායකයා ඔවුන් දෙදෙනාම මේ වෙන කොට ලංකාවේ නැ. ඔවුන් මේ ළමයා මියැදුනාට පස්සේ මාසයක් ඇතුලත කාලයකින් රටින් පිටමං වෙලා ගියා.”
ළදරුවාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන්ට ඇතිවු සැකය මත මේ වසර මුලදී සිදු කළ මරණ පරීක්ෂණය මගින් ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට මන්ත්‍රීවරයා කටයුතු කළේය.
“මේ පිළිබදව දෙමාපියන්ට තිබ්ච්ච සැකය හින්දා මේ පිළිබදව මරණ පරීක්ෂණයක් අවශ්‍ය හින්දා පසුගිය මාර්තු 11 වැනිදා 2025. ඒ මරණ පරීක්ෂණය මහේස්ත්‍රාත් විසින් කරලා ඔහු දැන් තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ඔහුගේ තීන්දුව අනුව ඔහු පැහැදිලිව කියනවා අපරාධයක් සිදු වෙලා ඇත්නම් ඒ වගේම නොසැලකිලි භාවයක් සිදු වෙලා ඇත්නම් වහාම මේ සම්බන්ධව සම්බන්ධවෙලා හිටපු අයව අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පෙන්වා දෙන්නේ එම වාර්තාව මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර අඩ වසරක් ගතව ඇතත් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා ගෙන නොමැති බවටයි.
“මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලා දැන් නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිබෙනවා. දැන් මාස හයකට කලින් මේ වාර්තාව. එතකොට දැන් නීතිපති දෙපාර්තමේන්තුව තවම මේ සම්බන්ධව අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරලා නැහැ. මේ සම්බන්ධව මේ නඩුව ඉස්සරහට ගෙනියන්න ඔවුන් නඩුවට අවශ්‍ය මුලික දේවල් තවම ඔවුන් කරලා නෑ.”
සැත්කමට භාජනය කිරීමේදී ළදරුවාගේ වකුගඩු දෙකම ඉවත් කර ඇති බව යළි යලිත් අවධාරණය කරන මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කළ පරීක්ෂණ වාර්තාව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්ද ඉල්ලා සිටි නමුත් එම වාර්තාව තවමත් ලබා දී නොමැති බවයි.
“ විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන මේ දරුවාගේ වාර්තාවල පැහැදිලිවම සදහන් වෙනවා ඒ දරුවට වකුගඩු දෙකක් තිබුනා කියලා. සාක්ෂි විමසීමේදී එකට අදාල වෛද්‍යවරු පවා ඇවිල්ලා කියලා තියනවා වකුගඩු දෙකක් තිබුනා. දැන් ඒ වකුගඩු දෙකම ශෛල්‍ය කර්මය කරාට පස්සේ තමයි ඔවුන්ට පරීක්ෂණ වලදී අහු වෙන්නේ වකුගඩු දෙකම ඉවත් කරලා කියලා. මේ සම්බන්ධව හිටපු සෞඛ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්ගෙන් අපි ප්‍රශ්න කරා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවම වාර්තාවක් ලබා දීලා නැහැ. දැන් අවුරුදු දෙක හමාරකට ආසන්න කාලයක් වෙනවා. මම නලින්ද ජයතිස්ස ඇමතිතුමාගෙනුත් මේ ආණ්ඩුව ආපු අළුත ඇහුවා කෝ මේ දරුවා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාව, පරීක්ෂණ වාර්තාව. තාම එළියට දැම්මේ නෑ.”
නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා කරන ආණ්ඩුවක් යටතේ හෝ හම්දි ෆස්ලීම් ළදරුවාට නීතියේ සාධාරණත්වය ඉෂ්ට කිරීමට අපොහොසත්ව ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරයා වැඩි දුරටත් චෝදනා කළේය.
“ඉතින් මට තේරෙන්නේ නැහැ දැන් අපි මේ නීතියේ ආධිපත්‍ය ගැන කතා කරනවා. ජනාධිපතිතුමා උදේ ඉදන් හවස වෙනකං කට ඇරියොත් නීතියේ ආධිපත්‍ය. කෝ නීතියේ ආධිපත්‍ය මේ දරුවට. මේ දරුවා වෙනුවෙන් තවමත් නීතියේ සාධාරණත්වය ඉෂ්ට කරන්න අපොහොසත් වෙලා තියනවා අලුත් ආණ්ඩුවක් ඇවිල්ලත්.”
අත දරුවාට ජීවිතය අහිමි වි වසරක් ගතවු 2024 ජුලි මාසයේදී ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වාර්තාව ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වු වෛද්‍ය රමේෂ් පතිරණගෙන් විමසා තිබුනි.
එම පැනයට පිළිතුරක් මේ මොහොතේ තමන් අත නොමැති බව 2024 ජුලි 23 වැනිදා පාර්ලිමේන්තුවේ මුලසුනට දැනුම් දුන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයාට පොරොන්දු වී තිබුනේ සතියක කාලයක් ඇතුලත ඔහුට පිලිතුරු ලබා දෙන බවටයි.




