තම සමීපතමයින්ගේ ඝාතනවලට, අතුරුදන් කරවීම්වලට යුක්තිය නොලබා සිය ජීවිතයෙන් සමුගත් සිය ගණනක් දෙමාපියන් අතරට වෛද්‍ය මනෝහරන්ගේ නම ද එක්වනු ඇත.
සිය පුත්‍රයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දීමෙන් පසු එල්ලවූ මරණිය තර්ජන හේතුවෙන් ලංකාවෙන් පිටවී පසුව වෛද්‍ය මනෝහරන් ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේ ය.
2006 ජනවාරි 02 දා ත්‍රීකුණාමලයේ ගාන්ධි පිළිරුව අසල වටරවුමේදී මේ සිසු පිරිස ඝාතනයට ලක් විය. මේ සිසුන් පස්දෙනා අත් බෝම්බයක් දමාගැසීමට උත්සාහ කළ අවස්ථාවේ එය ඔවුන් අතේ පුපුරායෑම නිසා මියගිය බව මුලදී පැවසිණි. පසුව මාධ්‍ය මගින් වාර්තා කළේ එසේ බෝම්බයක් ගැසීමට යෑමේදී වෙඩි තැබීමෙන් සිසුන් මරණයට පත්වූ බවයි.
කෙසේ වෙතත් වෛද්‍ය මනෝහරන් සිසුන්ගේ මෘතදේහ හඳුනාගැනීම සඳහා මෘත ශරීරාගාරයට ගිය අවස්ථාවේ ඔවුන්ගේ සිරුරුවල තිබූ වෙඩි උණ්ඩ සලකුණු පිළිබඳව නිරීක්ෂණය කර තිබිණි.
ඉන්පසු මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන් සුඩර්ඔලි පුවත්පත මගින් ඡායාරූප සහිතව අනාවරණය කරන ලද්දේ මේ ඝාතන වෙඩි තැබීමෙන් සිදු කළ ඒවා බවයි. ඊට දින කිහිපයකට පසු අධිආරක්ෂිත කලාපයකදී සුගීර්දරාජන් ඝාතනය කෙරිණි. සුගීර්දරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ද කිසිදු විධිමත් විමර්ශනයක් සිදු වූයේ නැත.
සිසු ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 දෙනකු අත්අඩංගුවට ගත්තද, එම නීති කටයුතු ඉදිරියට ගියේ නැත.
වෛද්‍ය මනෝහරන් මේ සිදුවීමට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සටනක නිරත වූ අතර, ඔහු යුක්තිය නොලබාම මියගොස් ය.
මෙසේ ඝාතනයට ලක්වූ සිසුන් වූයේ මනෝහරන් රාගිහර්, යෝගරාජ් හේමචන්ද්‍ර, ලෝගිදරාජ් රොහාන්, දන්ගතුරෙයි සිවානන්දන්, ශන්මුගරාජ් ගජේන්ද්‍රන් යන සිසුන් පස්දෙනා ය. මේ ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ පොලිස් විශේෂ කාර්ය බලකායටයි.
ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වූ වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් මාධ්‍යට පවසා තිබුණේ ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු විශ්වාසයක් නැති බවයි. ශ්‍රී ලංකාව තුළ මීට පෙර සිදුවූ කිසිදු විමර්ශනයකදී සාධාරණ විනිශ්චයක් ලැබී නැති නිසා තම පුත්‍රයාගේ ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ලබාදෙන මෙන් මිය ගිය වෛද්‍ය මනෝහරන් දිගටම ඉල්ලා සිටියේය.
අවස්ථා දෙකකදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම පවා සිදු වූයේ ජාත්‍යන්තර මට්ටමෙන් ඇතිවූ බලපෑම් නිසා බවයි. තමන් ඇතුළු සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිපදෙනකුම තර්ජන නිසා විදේශගත ව සිටින බව ද ඔහු සඳහන් කර තිබිණි.
‘මගේ පුත්‍රයා ඝාතනය කළ ඝාතකයන්, තවමත් ශ්‍රී ලංකාවට වී ඉතාම නිදහසේ සිටිනවා. මම, මගේ පවුලේ සාමාජිකයන් සහ තවත් සංවිධාන සමඟ එක්ව උත්සාහ දරන්නේ මෙම ඝාතනයට එරෙහිව යුක්තිය ඉටුකරවා ගැනීමට. මට තිබෙන එකම සැනසීම එය පමණයි. ඔවුන් මගේ පුත්‍රයා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිලි ලෙස කලින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළසිරුර. එම දර්ශනය මාව දැඩි කම්පනයට පත් කළා. ඔහුට වෙඩි උණ්ඩ පහක් එල්ලකර තිබුණා. වෛද්‍ය වාර්තාවේ පවා ඒ බව ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. මෙම ඝාතනයේ පළමු සාක්ෂිය මම.
මේ ඝාතනයෙන් පස්සෙ මට සහ මගේ අනෙක් දරුවන්ට දිගින්දිගටම ජීවිත තර්ජන ආවා. මට තවදුරටත් ලංකාවේ ජීවත්වීමේ හැකියාවක් තිබුණෙ නෑ. මට මගේ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධව කටයුතු කරන්න අවශ්‍යයි. ඒක මට තියෙන අයිතියක්. නමුත් ලංකාව තුළ මගේ කිසිදු මානව හිමිකමක් සුරක්ෂිත නෑ.‘
2012 මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිතයන් මෙම ශිෂ්‍ය ඝාතනය ගැන පරීක්ෂණ නැවත ආරම්භ කරන බව සඳහන් කළ බව එකල මාධ්‍ය වාර්තා කළේය.
එවකට ජනාධිපතිවරයා ව සිටි මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ අවසන් වාර්තාවේ ද මෙම සිසු ඝාතනය පිළිබඳව සදහන් වේ. එහි මෙසේ දැක්වේ.
අතීත පරීක්ෂණ කොමිෂන් සභාවල වාර්තා පිළිබඳ පසු විපරම් ක්‍රියාව
9.120 ‘2005 අගෝස්තු මාසයේ සිට පැනනඟින බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කෙරෙන චෝදනා පරීක්ෂා කිරීම සඳහා සහ විමර්ශනය කිරීම සඳහා පත්කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවේ, නිර්දේශ, විශේෂයෙන්ම 2006 ජනවාරි මාසයේදී ත්‍රීකුණාමලයේ දී සිදුවූ සිසුන් පස්දෙනකුගේ මරණය සහ 2006 අගෝස්තු මාසයේදී ඇක්ෂන් කොන්ත්රෙ ලා ෆෙයිම් සංවිධානයේ සේවකයන් 17 දෙනකුගේ මරණය පිළිබඳ සිදුවීම්වලට සම්බන්ධ වැරදිකරුවන් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු යැයි කොමිසම දැඩි ලෙස නිර්දේශ කර සිටී. එවැනි පියවරක් නීතියේ ඇගයීමට ගරු කරන බව සහතික කරන බලගතු සංඥාවක් යවනු ඇති අතර, එය සමාදාන ක්‍රියාවලියට දායක වනු ඇත.
( silumina | ශාලික විමලසේන)
යුක්තිය නොලබාම දිවියට සමුදුන් දොස්තර මනෝහරන්…
ඉදින් ඔහු භෞතික ජීවිතයෙන් නික්මගොස් ඇත.
පිටුවහල් දිවියේ සිටියදීම ය.
යුක්තිය නොලබා ම ය.
තම දුවා දරුවන්ගේ අකල් මරණයන්ට, විකල් අතුරුදන් කරවීම් වලට යුක්තිය නොලබා ජීවිතයෙන් සමුගත් අපමණ දෙමාපිය නාමකාය ලැයිස්තුවට වෛද්‍ය කාසිපිල්ලෛ මනෝහරන් නාමය ද එක්වනු ඇත.
මෙ කව ලියැවුණේ දොළොස් වසකට ඉහතිනි. ඔහු කෙරෙහි වූ අපමණ ආදරය සනිටුහන් කරනු පිණිස යළිඳු ඔබ සමඟ බෙදා ගනිමි.
– මනෝරම්‍ය වෙද නළාව –
මනෝහරන් තාත්තාගෙ
වෙද නලාව ගොළු වුණාද
පුතුගෙ පපුවෙ ගැහෙන සුසුම
සැළෙන හදට නො ඇසුණාද
මනෝරම්‍ය රටක නො ඉඳ
කඳුළු රැගෙන පියැඹුවාට
මනෝහරන් තාත්තාගෙ
වෙද නළාව ගොළුව යාද?
පස්වහන් දහසකට බුදුවෙන්නට
අවසර සුවාමිනේ
පස් මහ බැලූම් පාවෙයි
තිරුකෝණමලෙයි උඩු ගුවනේ
පස් දෙනාට පස්වරුවේ
උණ්ඩ පහ බැගිනි ලැබුණේ
පන්සිල් ගන්න පන්සල් යන
අවියද මග මුණ ගැසුණේ
ගාන්ධි පිළිරුව පාමුල
කාන්සියට ඇලවුණාද
මහන්සි වී සෙල්ලම්කර
රාත‍්‍රියට ගුලිවුණාද
බෝම්බ වෙඩි උණ්ඩ වලට
ශාන්තියකි වෙද නළාව
තාත්තකුට මෝචරියෙදි
පුතුගෙ කඳුළ හමුවුණාද
බුද්ධදාස රජුට වුණත්
ලැජ්ජ හිතෙන රටකි මේක
ඇද්දා ලණුව දැම්මා කොඩිය
සද්දෙ ඔබට ඇසෙනවාද
වන්නි වනපෙතට ඉහළින්
නැද්ද ඉරක මඳ හිනාව
නින්ද බිඳ දමන අවියකි
සද්දෙ ඇහෙන වෙද නළාව
2013 ජනවාරි 06
[සටහන: වසර 2006 ජනවාරි මස දෙවැනිදා තිරුකෝණමලෙයි ඕලන්ද බොක්ක වෙරළ ඉමේ පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව කෙන්ද්‍ර කරගත් වටරවුම මන්සන්ධියේදී කෲර ලෙස ඝාතනයට ලක් වූ දෙමළ ශිෂ්‍යයින් පස් දෙනාගෙන් අයෙකු වූ මනෝහරන් රජීහර්ගේ පියාණන් වන වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් විසින් තම පුත්‍රයා සහ ඔහුගේ මිත්‍රයින්ගේ මරණයන්ට සාධාරණ විනිශ්චයක් ලබා ගැනීම වෙනුවෙන් කරනු ලබන අඛණ්ඩ අරගලයට උපහාර වනු පිණිස ය.]
“නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුලක”
(මංජුල වෙඩිවර්ධන)




