The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අශෝක් පතිරගේ ඇතුළු ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන් ඇප මත මුදා හැරීමට නියෝග

T

The Leader Desk

September 27, 2025 • 10:16 AM

අශෝක් පතිරගේ ඇතුළු ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන් ඇප මත මුදා හැරීමට නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාරාහේන්පිට ආසිරි රෝහල් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු එහි අධ්‍යක්ෂවරු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔවුන් ඇප මත මුදාහරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 26 වන දා නියම කළේ ය.
  • චෝදනා 11ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.
  • නඩුව සලකා බැලූ මාලගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩුවේ විත්තිකාර රෝහල් අධ්‍යක්ෂවරුන්ට ඉකුත් ජනවාරි මස 23 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබිණි.
  • ඒ අනුව එම තැනැත්තාට රුපියල් 25,000ක දඩයක් නියම කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් මාස හයක සිර දඬුවම් නියම කරන බව ද නියෝග කළා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නාරාහේන්පිට ආසිරි රෝහල් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු එහි අධ්‍යක්ෂවරු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔවුන් ඇප මත මුදාහරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 26 වන දා නියම කළේ ය.

ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් වූ අශෝක පතිරගේ, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හර්ෂ කුමාර් කයිමාල් සහ අජිත් කරුණාරත්න යන අධ්‍යක්ෂවරුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත් ෂර්මිලා සහබ්දීන් නියෝග කළා ය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීමට ද වැඩ බලන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.

චෝදනා මොනවා ද?

නුගේගොඩ, හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරළ සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව අදාළ රෝහලේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ පරීක්‍ෂකවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.

නඩුව මගින් චෝදනා කර තිබුණේ, 2023 වසරේ පෙබරවාරී 07 වන දා සහ 19 වන දා අතර කාල සීමාව තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි අදාළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි නමැත්තියට නියම කර තිබූ ඖෂධවලට අදාළව උපරිම සිල්ලර මිලක් නියම කර තිබියදී ඊට වඩා වැඩි මිල ගණන් යොදා මුදල් අය කළ බවයි.

චෝදනා 11ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.

නඩුව සලකා බැලූ මාලගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩුවේ විත්තිකාර රෝහල් අධ්‍යක්ෂවරුන්ට ඉකුත් ජනවාරි මස 23 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබිණි.

එසේ තිබියදී මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබා සිටි දිනයක මෝසමක් මාර්ගයෙන් මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක හමුවේ පෙනී සිටි අදාළ රෝහල් සමාගමේ බලයලත් නිලධාරියෙකු වශයෙන් පෙනී සිටි කැලුම් ජයසූරිය නැමැත්තකු අදාළ චෝදනාවට වරද පිළිගත්තේ ය.

ඒ අනුව එම තැනැත්තාට රුපියල් 25,000ක දඩයක් නියම කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් මාස හයක සිර දඬුවම් නියම කරන බව ද නියෝග කළා ය.

'වැඩ බලන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂසහගතයි'

ඉන් අනතුරුව මාළිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත්වරිය දුන් මෙම නියෝගය දෝෂසහගත බවත් ඒ පිළිබඳව යළි සලකා බලන ලෙසත් පැමිණිලිකාර සනත් කුමාර අතුකෝරාළ එම අධිකරණයට කරුණු දක්වා සිටියේ ය.

ඒ අනුව වැඩ බලන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂසහගත ද? නැද්ද? යන්න පරීක්ෂා කිරීම සඳහා අවසන් කෙරුණු එම නඩුව එවක මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ විසින් යළි විවෘත කරන ලදී.

ඒ පිළිබඳ විමර්ශනය කිරීමෙන් අනතුරුව මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ නියම කළේ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය දුන් එම නියෝගය දෝෂසහගත බවයි.

ඒ අනුව අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි එම රෝහලේ අධ්‍යක්ෂවරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් යළි නොතිසි නිකුත් කරන ලදී.


කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක්

මේ අතරතුර මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අදාළ රෝහලේ අධ්‍යක්ෂවරු කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළහ.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ රෝහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

ඒ අනුව, ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව (සැප්තැම්බර් 25) යළි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එසේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර අධ්‍යක්ෂවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැත.

'ස්වාමීනි... නීතියට උඩින් කිසිවෙකුට සිටින්න බැහැ'

එහෙත් එම අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී... කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමට අධිකරණය විසින් අවසර දෙනු ඇතැයි පැවති විශ්වාසය හේතුවෙන් මගේ සේවා දායකයින් උසාවියට පැමිණියේ නැහැ. මේ රෝහල් අධ්‍යක්ෂවරු අතර ඉන්දියානු ජාතිකයිනුත් සිටිනවා. කෙටි දිනයක් තුළ මෙම පිරිස අධිකරණයට ගෙන ඒමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා කෙටි දිනයක් මා ඉල්ලා සිටිනවා," යනුවෙන් සඳහන් කළ විත්තියේ නීතිඥවරයා අදාළ රෝහල් අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් නොකරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

එහෙත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී... මේ විත්තිකරුවන්ට අධිකරණය පෙනී සිටින ලෙස දන්වා කිහිප වතාවක් ම සිතාසි නිකුත් කර තිබුණා. එහෙත් ඔවුන් අධිකරණය හමුවට පැමිණියේ නැහැ. ස්වාමීනි... නීතියට උඩින් කිසිවෙකුට සිටින්න බැහැ," යනුවෙන් සඳහන් කර මෙම විත්තිකරුවන් සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා ය.

ඉන් අනතුරුව මෙම නඩුවේ පැමිණිලිකාර සනත් කුමාර අතුකෝරළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි... පැරැසිටමෝල් පෙත්තේ සිට ඇස්ප්‍රින් පෙත්ත ඇතුළු සියලු ම ඖෂධ සඳහා සියයට 300කට වැඩි මිලක් මේ රෝහල අය කර තිබෙනවා. මේ රෝහල් අධ්‍යක්ෂවරු උසාවියට ගරු කිරීමට ඉගෙන ගත යුතුයි. තමන්ට සිදුවූ අසාධාරණයට යුක්තිය ඉටු කර ගැනීම සඳහා මගේ සේවා දායකයා විශාල මහන්සියක් දරා තිබෙනවා. කිසි ම ලාභයක් අපේක්ෂාවෙන් නෙවෙයි ඔහු මේ දේ කරන්නේ. මුළු රටේ ම ජනතාවට යුක්තිය හා සාධාරණය අපේක්ෂාවන් තමයි ඔහු මේ සටන කරන්නේ," යනුවෙන් සඳහන් කර සිටියේ ය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පෙනී නොසිටි අදාළ රෝහලේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කළා ය.

ඒ අනුව මෙම රෝහල් අධ්‍යක්ෂවරු සැප්තැම්බර් 26 අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැරිණි.


(බීබීසී සිංහල සේවය)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...