මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ (26) රාත්‍රියේ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් පලකර තිබේ.
සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් ජනතාව විරෝධතාවල නිරත වූ බව වාර්තාවේ.
කෙසේවෙතත් පොලිස් කැරලි මර්දන කණ්ඩායම් උපයෝගී කරනගනිමින් මන්නාරම නගරය වෙත සුළං බලාගාරට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගත් වාහන රැගෙන ඒම සිදුකළ බව වාර්තාකරු පවසති.
මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නතර කරන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැනීම නවත්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ මන්නාරම නගරය මධ්‍යයේ විරෝධතාවල නිරත විය.
කෙසේවෙතත් සුළං බලාගාරයට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග එම විරෝධතා උත්සන්න වූ අතර, උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.
එහිදී විරෝධතාකරුවන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, පොලීසිය විසින් එම පහරදීම් සිදුකළ බවට ජනතාව චෝදනා කරති.
සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලීසියෙන් සිදුකළ විමසීමේදී පැවසුවේ මන්නාරම නගරය වෙත සුළං බලාගාර ඉදිකිරීමේ උපකරණ රැගෙන එන අවස්ථාවේ ජනතාව පිරිසක් විරෝධතාවක් පැවැත්වූ බවය.
එහිදී පොලීසිය මැදිහත්ව තත්වය පාලනය කළ බවත්, කිසිදු අවස්ථාවක සිවිල් වැසියන්ට පහරදීමක් සිදු නොකළ බවත් පොලිසිය පවසයි.
මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන ගැටලුව වෙනුවෙන් මන්නාරම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පසුගිය අගෝස්තු 13 වැනිදා සාකච්ජාවක් ද පැවැත්වීය.
එහිදී මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් නැවත සළකාබලන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත්, අදාළ පොරොන්දු ඉටුකිරිමට කටයුතු නොකළ බවටත් චෝදනාවක් එල්ලවී ඇත.
මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් වැසි සමයේ නගරයේ වැසි ජලය ගලාගෙන යාමට නොහැකි වන බවත්, ඒ හේතුවෙන් මන්නාරම නගරයේ බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව හටගන්නා බවත් විරෝධතාකරුවන් පවසති.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර:
සුළං බලාගාර ටර්බයින් රැගෙන ඒමට එරෙහිව මන්නාරම ජනතාව විරෝධය දක්වන්නේ ඇයි? - BBC සටහනක්




