සමීර මනහර ඉලක්ක කරගනිමින් පසුගිය ජූලි 03 වැනිදා කඳාන පොලිස් වසමේදි සිදුකළ වෙඩි ප්‍රහාරයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 22 වැනිදායි වත්තල ඇලකන්ද ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.
පසුව අදාළ සැකකරු සැප්තැම්බර් මස 23 වැනි දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට දින 7ක රැඳවුම් නියෝග ලබා දී තිබිණ.
රැඳවුම් නියෝග මත ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ මොහු ප්‍රදේශ රැසක කොල්ලකෑම්, වෙඩි තැබීම් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක් බවයි.
විදෙස්ගත මත්ද්‍රව්‍ය ඡාවාරම් කරුවන් සමඟ ද මොහුගේ සමීප සම්බන්ධතාවයක් තිබී ඇති බව අනාවරණය වී තිබේ.
මොහු සම්බන්ධයෙන් අනාවරණය කරගත් අපරාධ පහත පරිදි වේ
1 කිරිබත්ගොඩ පොලිස් වසමේදී කාන්තාවකගේ මාලයක් කොල්ලකෑමේ අපරාධය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු:
පොලිසිය සඳහන් කළේ අදාළ සැකකරු පසුගිය ජුනි 30 වන දින කිරිබත්ගොඩ පොලිස් වසමේදි කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලය කොල්ලකෑම සඳහා යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා බව අනාවරණ වී ඇති බවයි.
2. කඳාන පොලිස් වසමේදී වෙඩි තබා ඝාතනයක් සිදු කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු :
අදාළ වෙඩි තැබීමෙන් සමීර මනහර තුවාල ලැබූ අතර ඔහුගේ සමීපතම මිතුරකු වන උපාලි කුලවර්ධන නමැත්තා ජීවිතක්ෂයට පත්විය.
පොලිසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීම විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති අතර ඒ සඳහා සැකකරුට මුදල් වෙනුවට රුපියල් ලක්ෂ 8ක අයිස් මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවයි.
3. කඳාන පොලිස් වසමේදී නිවසකට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු :
මෙම සැකකරු පසුගිය අගෝස්තු මස 07 වැනි දින කඳානේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇති බවද අනාවරණ වී ඇත.
4. පසුගිය සැප්තැම්බර් මස 06 වැනි දින මීගමුව පොලිස් වසමේ නිවසකට වෙඩි තැබීමේ අපරාධයේ වෙඩික්කරු
සැකකරු මෙම අපරාධ සිදු කර ඇත්තේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොණ්ඩ රංජි, චූටි මල්ලි සහ ඩුබායි කසුන්ගේ මෙහෙයවීම මත බවද පොලිසිය පවසයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ඩුබායි කසුන් නමැත්තාට අයත් බව පැවසෙන වත්තල ප්‍රදේශයේ පිහිටි රැඳවුම්හලක සිටියදී වන අතර ඔහු අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක් ද එහිදි පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙක් බවද පොලිසිය සඳහන් කළේය.
මෙම අපරාධ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් සිදුකරනු ලබයි.




