The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ලබන අයවැයෙන් අලුත් බදු ගහන්නේ නෑ - ජනාධිපති ජපානයේදී කියයි

T

The Leader Desk

September 29, 2025 • 3:59 AM

ලබන අයවැයෙන් අලුත් බදු ගහන්නේ නෑ - ජනාධිපති ජපානයේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් ඉදිරියට යාමේදී පවතින බදු ප්‍රතිශතයන් අඩු කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය.
  • බදු බර වැඩි යැයි ඇතැමුන් කියන බව කී ජනාධිපතිවරයා එලෙස බදු බර වැඩි වන්නේ ඇයි දැයි සලකා බැලිය යුතු බව කීය.
  • මෙලෙස රජයට ආදායම් උපයා ගන්නට සිදුවී ඇත්තේ එළියේ ආර්ථිකය කුඩා නිසා යැයි ද එළියේ ආර්ථිකය විශාල වුණොත් බදු ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කම ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
  • රජයට එවැනි සැලසුමක් ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


තවත් ඉදිරියට යාමේදී පවතින බදු ප්‍රතිශතයන් අඩු කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය.

බදු බර වැඩි යැයි ඇතැමුන් කියන බව කී ජනාධිපතිවරයා එලෙස බදු බර වැඩි වන්නේ ඇයි දැයි සලකා බැලිය යුතු බව කීය.

මෙලෙස රජයට ආදායම් උපයා ගන්නට සිදුවී ඇත්තේ එළියේ ආර්ථිකය කුඩා නිසා යැයි ද එළියේ ආර්ථිකය විශාල වුණොත් බදු ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කම ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. රජයට එවැනි සැලසුමක් ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

සියලු පුරවැසියන් භාණ්ඩ මිලදී ගැනීමේදී සියයට 18ක බද්දක් ගෙවීම යුක්ති සහගත නැතැයි ද නමුත් එළියේ ආර්ථිකය කුඩා වීම නිසා ඒ බද්ධ අය කරන්නට සිදුවී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අතීත අයවැය ‍ලේඛන වල හැම විටම සිදුවී තිබෙන්නේ නැවත නැවත අලුතින් බදු යෝජනා ඉදිරිපත් කිරීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම කාරණා සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට ඊයේ  (28) පස්වරුවේ ටෝකියෝ හි  Reiyukai ශාලාවේදී එක් වෙමිනි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


WhatsApp Image 2025 09 29 at 4.31.03 AM
පසුගිය වසර තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි සමබරතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

තවදුරටත් ආර්ථිකයේ සහ වෙළෙඳපොළ තුළ ජාතික සීමාවන් නොමැති ලෝකයක, රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එසේම රට ඉදිරියට ගෙන යාමට නම් ජාතික සමගිය නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට තුළ කිසිඳු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසරක් ලෙස පසුගිය වසර ලංකා ඉතිහාසයට එක්වන බවද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජීවත්වන සහ රටින් පිට සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙක් පෞද්ගලික වරප්‍රසාද හෝ වරදාන අපේක්ෂාවෙන් වත්මන් රජය බලයට පත් කර ගැනීමට කටයුතු නොකළ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම සියලු දෙනා අපේක්ෂා කළ පරිවර්තනය වෙනුවෙන් අද රජය කැපවී කටයුතු කරන බවත්, රජයේ වසරක ගමන් මගෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ඒ මත පදනම්ව බවත් ප්‍රකාශ කළේය.


රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ජනතාව අපේක්ෂා කළ නව පරිවර්තනයන් වෙනුවෙන් ඉකුත් වසර තුළ රජය සැලකිය වැඩ කොටසක් ඉටු කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවට නොබියව පැමිණ ආයෝජනය කර, රට දිනවීමේ ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසද මෙහිදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට රජය සූදානම් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී ඔවුන් විසින් මතු කළ අදහස් සහ ගැටලුද සාකච්ඡාවට ලක් කෙරිණි.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේද පැවසීය.

එදා ඔබ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඇති කිරීමට සහාය ලබා දුන්නේ කුමන අරමුණකින්ද?

ශ්‍රී ලංකාවේ නව දේශපාලන පරිවර්තනය සඳහා ඔබ විවිධ අයුරින් සහාය ලබා දුන්නා. ඔබ සැප්තැම්බර් 21 වනදා සිදු වූ එම දේශපාලන හැරවුමේ පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත් වුණා. දැන් අපි බලයට පැමිණ වසරක් ගත වී තිබෙනවා. පසුගිය වසර පිළිබඳ මැනිය යුත්තේ කුමන නිර්නායකය මතද? පසුගිය වසර හොඳද, නරකද කියා මැනිය යුත්තේ අපි එදා ආණ්ඩුව පිහිටුවීමේදී ජනතාව තුළ තිබු බලාපොරොත්තු සහ අපේක්ෂාවන් මතයි. එසේ නොමැතිව බලය පිහිටුවන විට වෙනත් අපේක්ෂාවන් තිබු අයගේ අදහස් මත නොවෙයි. එදා ඔබ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඇති කිරීමට සහාය ලබා දුන්නේ කුමන අරමුණකින්ද?

විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් වන ඔබ වගේම ලංකාවේ ජීවත්වන අපේ ආණ්ඩුව හැදීමට දායකත්වය සැපයු කිසිවෙක් තමන්ට පෞද්ගලික යමක් උපයා ගැනීමට, වරප්‍රසාදයක් ලබා ගැනීමට හෝ පෞද්ගලිකව දෙයක් ලබා ගැනීමේ අරමුණකින් කටයුතු කළේ නැහැ. ඒ නිසා ඔබ හැමදෙනාම දායකත්වය ලබා දුන්නේ පෞද්ගලික උවමනාවන් ඉක්මවා ගොස් රටක් ලෙස, ජාතියක් ලෙස අපි කුමක්ද කළ යුත්තේ කියන අභිලාෂය මත පමණයි. පැවති ගමන් මග වෙනුවට නව ගමන් මගක් ඇති කර ගැනීමේ අරමුණින් ඔබ කටයුතු කළා.

* පළමු කරුණ ලෙස බිඳ වැටී තිබු ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව ඔබට තිබුණා. අද අපි සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. නමුත් අපිට තව දිගු ගමනක් යාමට තිබෙනවා.

* ඒ වගේම ඔබ නීතියේ විධානයේ ආධිපත්‍ය අපේක්ෂා කළා. අපි දකිනවා දියුණු වූ සෑම රටකම තිබෙන සාධකය වන්නේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වීමයි. නීතිමය සංකල්පය ගත්තද නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි. නමුත් අපේ සංකල්පය වුණේ නීතියට ළඟා විය හැකි අය ඉන්නවා, ළඟා විය නොහැකි අය ඉන්නවා කියන එකයි. බලය, ධනය විසින් මෙය නිර්මාණය කර ගෙන තිබෙනවා. හැබැයි අද නීතියට ළඟා විය නොහැකි කිසිවෙක් අපේ ලංකාවේ ජිවත් වෙන්නේ නැහැ. ඒ හැම දෙනා වෙතම නීතියට ළඟා විය හැකියි.

රට ගොඩනැගීමේදී ආර්ථිකයේ ස්ථාවරභාවය, නීතියේ විධානයේ ආධිපත්‍ය ඇති කිරීම සහ වංචා දුෂණ අවම කිරිම සහ කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි. අද ලංකාවේ වසර 76කට පසු දේශපාලන අධිකාරිය මහජනතාවගේ මුදල් සොරකම් නොකරන සහ නාස්ති නොකරන ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. හැබැයි තවදුර යන්න තිබෙනවා. මොකද රාජ්‍ය යාන්ත්‍රණයත් මේ පරණ පුරුදුවලින් ගලවාගත යුතුයි. එය වෙනස් කිරීමේ පළමු පියවර අපි තබා තිබෙනවා.


* ඒ වගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික පියවර අපි තබා තිබෙනවා.

* ඒ වගේම ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීම ඉතා වැදගත් වෙනවා.

'' රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි සමබරතාව ආරක්ෂා කර ගැනීමට අද ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා''

ලෝකයේ කිසිදු රටකට තවදුරටත් හුදකලා වී ජීවත් වෙන්න බැහැ. අපි ආර්ථිකයෙන්, තාක්ෂණයෙන්, වෙළෙඳපොළෙන් එකට ගැට ගැසී තිබෙනවා. ඒ නිසා ජාතික සීමාවන් තිබුණට තවදුරටත් ආර්ථිකයේ ජාතික සීමාවන් නැහැ. වෙළෙඳපොළේ ජාතික සීමාවන් නැහැ. ඒවා සියල්ල අභිබවා ගොස් තිබෙනවා. ඒ නිසා රාජ්‍යයක් ඉදිරියට යාම සඳහා ශක්තිමත්, ස්ථාවර, පැහැදිළි විදෙස් සබඳතා අවශ්‍යයි. මම හිතනවා පසුගිය වසර තුළ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තබා ගත යුතු සමබරතාවය ආරක්ෂා කර ගැනීමට සමත්වී තිබෙනවා. මෙම මූලික කරුණු ස්ථාපිත කර නොගෙන රට ගොඩනගන්න බැහැ.

ඒ වගේම අපේ රටේ විවිධ ජන කණ්ඩායම් සහ ආගමිකයන් ජීවත් වෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතින් තිබෙනවා. ඒ නිසා අපේ රට ජනතාවගේ විවිධත්වයකින් පිරිණු රටක්. අපේ රට ඉදිරියට ගෙන යාමට මෙම ජනතාව අතර සමගිය නිර්මාණය කළ යුතුයි. හැබැයි දිගු කාලයක් පුරා දේශපාලන පොරය නිසාම මෙම ජනතාව අතර විවිධ ජාතිවාදී ගැටුම්, ආගම්වාදී ගැටුම් ඇති කරමින් එකිනෙකා දුරස් කරනු ලැබුවා.

''රට තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසරක් ලෙස පසුගිය වසර ලංකා ඉතිහාසයට එක් වෙනවා''

භූ දේශපාලන ව්‍යාපාරය ගොඩනැඟී තිබුණේ එවැනි ජාතිවාදී මූලාශ්‍රයන් සහ මතවාද සමගයි. ඒ නිසා ගැටුම් සහිත රටකට එකිනෙකා අතර බේදය, වෛර වැපිරූ රටකට ඉදිරියට යන්න බැහැ. එසේනම් අපේ රටේ සංස්කෘතික විවිධත්වයන්, භාෂාමය වෙනස්කම්, ආගමික වෙනස්කම් අවබෝධ කරගත් එකඟතා සහිත රාජ්‍යයක් ගොඩනැඟිය යුතුයි. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ කිසිදු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසර තමයි මේ ගතවූ වසර. හැබැයි තව දුර යා යුතුයි.

අපිට ශක්තිමත් ගොඩනැගිල්ලක් හදන්න නම් ඉතාමත් ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. නමුත් අපේ රට අත්තිවාරම බිඳුණු රටක්. අද අපි එම අත්තිවාරම දමා තිබෙනවා. ගත වූ වසර කියන්නේ අපේ රට ඉදිරියට ගොඩනැඟීම සඳහා අවශ්‍ය ශක්තිමත් අත්තිවාරම දැමු වසරයි. දැන් අපි මේ අත්තිවාරම මත ගොඩනැගිලි ඉදිකිරීමට පටන් ගන්න ඕනෑ. මේ අත්තිවාරම මත රට ගොඩනගන විට ආණ්ඩුවට අභියෝගයන් තිබෙනවා. රටට අභියෝගයක් තිබෙනවා.  ඒ වගේම ජනතාවට අභියෝගයක් තිබෙනවා. එය අපි අවබෝධ කරගත යුතුයි.

ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය වන්නේ ආදායම් උපයා ගැනීමයි. රට හමුවේ තිබෙන අභියෝගය වන්නේ භාණ්ඩ හා සේවා ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් උපයා ගැනීමයි. ඒ වගේම ජනතාවට තමන්ගේ මුලික අවශ්‍යතා ඉටු කර ගනිමින් නිදහසේ ජීවත්විය හැකි පසුබිමක් අවශ්‍යයි. ඒ නිසා ආණ්ඩුව ආදායම් උපයා ගත යුතුයි.

ලංකාවේ පළමු වතාවට අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ලද අදායමට වඩා වැඩි ආදායමක් මේ වසරේ උපයා ගැනීමට අප සමත් වී තිබෙනවා. ආණ්ඩුව ආදායම් උපයාගත යුත්තේ ව්‍යාපාරවලින් නොවෙයි. ආණ්ඩුව කළ යුත්තේ එළියේ ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ එම එළියේ ආර්ථිකය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය සහාය සහ යටිතල පහසකම් සංවර්ධනය කිරීමයි.


එළියේ ආර්ථිකය විශාල වීමත් සමඟ බදු ප්‍රතිශත අඩු වී ජනතාවට සහන හිමි වෙනවා. ඒ අනුව මෙවර අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා නොදී සිටීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ඉදිරියේදී ඇතැම් බදුවල ප්‍රතිශතය අඩු කිරීමට අපි අවධානය යොමු කර  තිබෙනවා. මේ අයුරින් අපිට ආර්ථික සැලසුම් තිබෙනවා. ඒ සඳහා එළියේ විශාල ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි

එහිදී අපි සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වසර 2030 වන විට මිලියන 04ක සංචාරකයින් කැඳවා ගනිමින් ඩොලර් බිලියන 08කට ආර්ථිකයකට යාමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය පරිසරය සකස් කර දීම ආණ්ඩුව සිදු කරනවා. ඒ වගේම ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නැංවීම එහිදි වැදගත් වෙනවා. දැනටමත් ලංකාව ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් බවට වන වාර්තා පළ වෙනවා.

''අපේ කාර්යය වන්නේ ඔබට ආර්ථික අවස්ථාවන් සකස් කර දීමයි''

ඒ වගේම රටට අවශ්‍ය ආයෝජන මේ වන විට ලැබෙමින් තිබෙනවා. රජය වැඩිපුර ආයෝජන සිදු කළයුත්තේ මහාමාර්ග, විදුලිය, ජලය ආදි යටිතල පහසුකම් සංවර්ධනය සඳහායි. හැබැයි ආර්ථික ක්‍රියාකාරකම් ගොඩනැගිය යුත්තේ පෞද්ගලික අංශයයි. රජය සතුව විශාල තේ වතු ප්‍රමාණයක් තිබෙනවා. නම තිබුණට එම භූමියට සරිලන ලෙස ආදායම් උපයන්නේ නැහැ. ඒ නිසා අපේ වටිනාම සම්පත වූ භූමිය ඉතා හොදින් කළමනාකරණය කරගත යුතුයි. ඒ නිසා අපි වතු හිමි රාජ්‍ය සමාගම් වෙත දැනුම් දී තිබෙනවා ඵලදායීතාවක් නැති සියලු ඉඩම් ලබා දෙන්න කියලා. අපි ඔබට ආරාධනා කරනවා ඒවායේ ආයෝජනය කරන්න එන්න කියලා. අපේ කාර්යය වන්නේ ඔබට ආර්ථික අවස්ථාවන් සකස් කර දීමයි.

ඒ වගේම රැකියා උත්පාදනය වන ආර්ථිකයක් ගොඩනඟා දීම ආණ්ඩුවක වගකීමක්.  අද අපි එම වගකීම ඉටු කරමින් සිටිනවා. ඒ නිසා අපි වසර කිහිපයක් වෙහෙසුනහොත් අපේ රටේ ආර්ථික වශයෙන් ඇති වී තිබෙන දුප්පත්භාවයෙන් අපිට ගොඩ ඒමට හැකියාව තිබෙනවා.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඩිජිටල්කරණය....

ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රධාන කොටසක් ලෙස ඩිජිටල්කරණය අපි හඳුනාගෙන තිබෙනවා. ලබන වසර වන විට රජයත් සමඟ සිදු කරන සියලු ගනුදෙනු Online මගින් ගෙවීමේ ක්‍රමවේදය ආරම්භ කරනවා. ඒ වගේම ටෙන්ඩර්, රේගු කටයුතු මේ සියල්ල ඩිජිටල්කරණයට ලක් කරනවා. අපිට එය සාර්ථක කරගත හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.

අපේ රටේ නීති හදපු අයම එම නීතිවලට පටහැණිව කටයුතු කර තිබෙනවා. නීතිය තිබුණත් එය ක්‍රියාත්මක නොවන බව ඔවුන් දන්නවා. මින් ඉදිරියට අපේ පියවර වන්නේ නීතිය පමණක් ප්‍රමාණවත් නැහැ, එය ක්‍රියාත්මක වන බව තහවුරු කළ යුතුයි. දැන් එය ඔප්පු වෙමින් තිබෙනවා. අද පක්ෂ 40ක් එක කාමරයට එකතු වෙන්න තරම් එය ඔප්පු වී තිබෙනවා. අපේ රටේ පුරවැසියා තුළ නීතියට බියක් ඇති විය යුතුයි. අපි එම සංස්කෘතිය ඇති කරනවා.

ඒ වගේම අපි ජාතික ප්‍රශ්නය අවසන් කළ යුතුයි. අපේ ප්‍රවේශය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර යළි කිසිදු ආකාරයේ ගැටුමක් ඇති නොවන අන්දමින් රට පාලනය කිරීමයි. උතුරේ ජනතාව විශාල ලෙස යුද්ධයෙන් බැට කෑවා. යළි යුද්ධයක් ඇති නොවන අන්දමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ජාතික සමගිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර අපි අරගෙන තිබෙනවා.  ඒ වගේම උතුරේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය, නීතිමය රැකවරණය ලබා දී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සම අයිතින් තිබෙන රටක් ගොඩනගනවා.


''මත්ද්‍රව්‍ය සහ අපරාධවලින් යුත් මේ යටිබිම්ගත රාජ්‍යය වසා දැමීමට අපි තීරණය කර තිබෙනවා''

ඒ වගේම මත්ද්‍රව්‍ය උවදුරින් අපේ දරුවන් බේරා ගැනීමට අපි කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ එකට බැඳී තිබෙන්නේ. අද අපි මේවා පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය සහ අපරාධවලින් යුත් මේ යටිබිම්ගත රාජ්‍යය වසා දැමීමට අපි තීරණය කර තිබෙනවා.

ඒ වගේම මේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ගලා යා යුතුයි. අපි ඉහළින් කෙතරම් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළද ජනතාවගේ ජන ජීවිතය වෙනස් වන්නේ නැත්නම් ඵලක් වෙන්නේ නැහැ. ජන ජිවිතය හැමදාම අස්වැසුමට සීමා කරන්න බැහැ. ඔවුන්ට ආර්ථික අවස්ථා උදාකර දිය යුතුයි. ඒ නිසා කෘෂිකර්මාන්තය, පශු සම්පත් ක්ෂේත්‍රය අපි නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම ආර්ථිකය ගමට ප්‍රසාරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපි සකස් කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපේ රටේ ජනතාව අලුත් වෙනසක්, අලුත් ගමනක් ප්‍රාර්ථනා කළා නම් ඒ අලුත් වෙනස සහ අලුත් ගමන වෙනුවෙන් අපි  වෙහෙස වී වැඩ කරමින් සිටිනවා. ඒ ගමනට ඔබේ දායකත්වයත් අපි අපේක්ෂා කරනවා. අපිට ඔබෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා. රටට ආයෝජන රැගෙන එන්න. ඒ වගේම ඔබ විදේශයන්හි සේවය කර ලබා ගත් ඒ අත්දැක්ම් අපේ රටට අරන් එන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි සකස් කර දෙන්නම්. ඒ අනුව රට ගොඩනැගීමේ ගමනේ කොටස්කරුවන් බවට පත් වීමට ඔබට හැකියාව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 anura japan
japan 2
japan 3
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...