ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර පුළුල් කරගැනීමට අපේක්ෂා කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා පවසයි.
ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්වුණි.
ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ජපාන අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ ශක්තිමත් පුද්ගල සබඳතා මත පදනම් වී තිබෙන බවය.
ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරද පිළිගැන්විණි. එම පෙළපාළිය නිරීක්ෂණය සඳහාද ජනාධිපතිවරයා එක් විය.
දෙරටේ නියෝජිත පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) අතර නිල සාකච්ඡා ආරම්භ කෙරිණි.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ආදී කරුණු ආවරණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දෙපාර්ශ්වය අතර සංවර්ධන සහාය (Official Development Assistance) තවදුරටත් පිළිබිඹු කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සහ නිල ආරක්ෂක ආධාර ලබා දීමේ වැඩසටහන (Official Security Assistance- OSA) පිළිබඳ හුවමාරු පත්‍ර අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි -ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා
ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) සඳහන් කළේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉතා තීරණාත්මක බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත්ය.
''සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජපානය සමඟ එක්ව කැප වෙනවා'' - ජනාධිපති අනුර කුමාර දිසානායක

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ ශක්තිමත් පුද්ගල සබඳතා මත පදනම් වී තිබෙන බවයි.
ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා ශ්‍රී ලංකා-ජපාන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එම එකඟතාවල සැබෑ ප්‍රතිලාභ අත් කර ගනිමින් සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් යන ගමනේදී ජපානය සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජපාන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු සංවර්ධන ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීම වෙනුවෙන් ජපන් රජය දැක් වූ සහාය මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන්ද ජපාන රජය වෙත ස්තූතිය පළ කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා අතර පැවති නිල සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද මාධ්‍ය වෙත නිකුත් කෙරිණි. (Joint Statement)
මින් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස වෙත පිරිනමන ලද භෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහභාගී විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ජපාන රජය නියෝජනය කරමින් ඉහළ පෙළේ දූත පිරිසක් එක් වූහ.




