The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැහැ - ජනපති අවධාරණය කරයි

T

The Leader Desk

October 4, 2025 • 5:03 AM

 කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැහැ - ජනපති අවධාරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (03) මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ පැවති පූජෝත්සවය අමතමිනි.
  • ඒ සඳහා තබන ලද පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බව මම මෙහිදී ශපථ කර ප්‍රකාශ කරනවා.
  • ඒ සඳහා අපි රජයක් ලෙස අපේ කාර්යභාරය ඉතාමත් ශක්තිමත්ව ඉටු කරනවා.
  • හැබැයි, නැවත නැවත ඇති වන එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සමාජය පවිත්‍රකරණය සහ නව පුනරුදයකට සමාජය කැඳවාගෙන යාමේදී අපේ මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (03) මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ පැවති පූජෝත්සවය අමතමිනි.

අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම මෙහි දී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර, අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.

එම පූජෝත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...

කළු පාලනය අවසන් කළ යුතු යි
 
අද අපේ රටේ ව්‍යවස්ථාවෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුවක් තිබෙනවා. ඒ හා සමානවම, එතරම් බලවත් නොවුණු, එහෙත් මතුපිට තිබෙන ආණ්ඩුවේ තිබෙන සියලු අංගෝපාංග සහිත අවි බලය මත ගොඩනැගුණු කළු පාලනයක් අපේ රට තුළ තිබෙනවා. ඒනිසා නීත්‍යානුකූල, ව්‍යවස්ථානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අපි මේ කළු පාලනය අවසන් කළ යුතුව තිබෙනවා. අපේ ආණ්ඩුව එම මාවත තෝරාගෙන තිබෙනවා. ඒ සඳහා තබන ලද පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බව මම මෙහිදී ශපථ කර ප්‍රකාශ කරනවා. එම කළු පාලනය හරහා අපේ රට මොන තරම් විනාශකාරී අන්තයක් කරා තල්ලු වී තිබෙනවා ද කියන එක පසුගිය දිනවල දක්නට ලැබුණු ප්‍රවෘත්තිවලින් සනාථ වෙනවා. මත්ද්‍රව්‍ය, අවිආයුධ, නීත්‍යානුකූල නොවන දේපළ, එක්රැස් කරගත් ධනය, ඒ වෙනුවෙන් අවි ආයුධ හැසිරවිය හැකි ප්‍රජාවක්, එම ආයුධවලින් තැන තැන වෙඩි තබා මිනිසුන් මරා දැමිය හැකි මානසිකත්වයක් සහිත තරුණයන් සහ මෙවැනි සමාජයක් නිර්මාණය වී තිබෙනවා.

මේ සමාජය යහපත් කිරීමට නම් කළු පාලනය අවසන් කළ යුතුයි. ඒ සඳහා අපි රජයක් ලෙස අපේ කාර්යභාරය ඉතාමත් ශක්තිමත්ව ඉටු කරනවා. හැබැයි, නැවත නැවත ඇති වන එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සමාජය පවිත්‍රකරණය සහ නව පුනරුදයකට සමාජය කැඳවාගෙන යාමේදී අපේ මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.  ඒ නිසා මේ සමාජය යහපත් කරන කාර්යයේදී අපේ නායක ස්වාමින් වහන්සේගේ උපදෙස්, ඔවදන් ඉතාමත් වැදගත් වෙනවා. 

විහාර දේවාලගම් පනතේ 41 වන වගන්තිය සහ 42 වන වගන්තිය සංශෝධනයට

 
දෙවනුව, සමාජයක් ලෙස අපිට යම් අධ්‍යාත්මයක් අවශ්‍යයි. අපේ මේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කිරීමේදී එහි පදනම වන්නේ බෞද්ධ සංස්කෘතියයි. බෞද්ධ සංස්කෘතිය සමග අපගේ අධ්‍යාත්මයට ලැබෙන යහපත් දේ නීති අණපනත්වලින් මකා දැමිය හැකි දෙයක් නොවෙයි. එය ඓතිහාසික බැඳීමක්. අපේ මෙම බෞද්ධ සංස්කෘතිය නොනැසී වසර ගණනාවක් පැවතීමේ රහස වන්නේ මේ සංස්කෘතිය ජන ජීවිතය සමග එකට ගැට ගැසී තිබීම යි. අපේ මේ අභිමානවත් දහම සහ සංස්කෘතිය ආරක්ෂා කළේ මහා සංඝරත්නයයි. එහෙත්, මේ දහමේ ආරක්ෂකයන් වන අපේ හාමුදුරුවන් වහන්සේලා පිළිබඳ දකින ඇතැම් ප්‍රවෘත්ති සහ සිදුවීම් මේ දහමේ පැවැත්මට සුදුසු නැහැ කියා මම විශ්වාස කරනවා.

අපේ මහා නායක ස්වාමින් වහන්සේලා සෑම විටම ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය නීතිමය පදනම සකස් කර දෙන ලෙස යි. විශේෂයෙන් ම, විහාර දේවාලගම් පනතේ 41 වන වගන්තිය සහ 42 වන වගන්තියේ අවශ්‍ය සංශෝධන සහිත බලය ලබා දෙන ලෙස අපෙන් ඉල්ලා සිටියා. ඒ සංශෝධන සකස් කර, නැවත මහා නායක ස්වාමින් වහන්සේ වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. උන් වහන්සේලාගෙන් ලද අදහස් සහිතව නැවත සංශෝධනය කර දැන් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඉතා ඉක්මනින් අපි එම නීතිය සම්පාදනය කර ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එම පවත්වාගත යුතු විනය කර්ම පවත්වා ගැනීමට අවශ්‍ය වන නීතිමය රැකවරණය ලබා දීමට කටයුතු කරනවා. එය රජයක් ලෙස අපෙන් ඉටු විය යුතු කාර්යභාරයක් ලෙස සලකනවා. 

ආණ්ඩුවක් යනු සීමා රහිතව තමන්ට සිතු දේ කළ හැකි ස්ථානයක් නොවෙයි 

එය පමණක් ප්‍රමාණවත් නැහැ. මෙය අපේ නාරන්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ වැනි යතිවරයාණන් වහන්සේලා දහස් ගණනක් අවශ්‍ය වන යුගයක්. උන් වහන්සේ පුළුල් අධ්‍යාපනයක් සහ දැනුමක් තිබෙන නායක ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම, උන් වහන්සේගේ දශක හතරකට ආසන්න පැවිදි ජිවිතය තුළ ජනතාව වෙනුවෙන්, ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සහ මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් උත්තුංග මෙහෙවරක් ඉටු කළා. ඒ වගේම, ඉතාමත් අසීරු අභියෝග භාරගෙන ඉටු කර තිබෙනවා.

මේ ශාසනික චිරස්ථිතිය වෙනුවෙන් සහ සමාජය යහපත් කිරීම වෙනුවෙන් අද එවැනි යතිවරයාණන් වහන්සේලා අවශ්‍යයි. අපේ රටේ සමාජයේ ඕනෑම කැළඹිල්ලක් ඇති වන අවස්ථාවක අපේ මහා නායක ස්වාමින් වහන්සේලා ඊට සක්‍රීයව මැදිහත් වී අනුශාසනා සහ මඟපෙන්වීම ලබා දීම අවශ්‍යයි. එසේ නොමැතිව විධායක බලය තිබෙන ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ 2/3ක් තිබෙනවා ඕනෑම දෙයක් කළ හැකියි කියන මනෝභාවයකින් ආණ්ඩුවකට ඉදිරියට යන්න බැහැ. ආණ්ඩුවක් යනු මුළු සමාජයේම විවිධ පැතිකඩවල නියෝජනයක් බවට පත් විය යුතුයි.

ආණ්ඩුවකට විශේෂයෙන් විධායක ජනාධිපතිවරයාට යම් සීමා නොමැති වූවාට, අපිට සීමාවක් තිබෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමින් සිටිනවා ඇතැම් ඒවාට ප්‍රායෝගිකව සීමා පවතින බව ඔප්පු කරන්න සහ ඇතැම් ඒවාට නීතියෙන් සීමා පවතින බව ඔප්පු කිරීමට. ඒ නිසා ආණ්ඩුවක් යනු සීමා රහිතව තමන්ට සිතු දේ කළ හැකි ස්ථානයක් නොවෙයි. 

සමාජය සුවපත් කිරීමේ කාරයභාරයේ දී විශාලතම පංගුව පැවරෙන්නේ මහා සංඝරත්නයට
 

අපේ ඓතිහාසික උරුම සහිත අපේ නායක ස්වාමින් වහන්සේලාගේ උපදෙස්, ඔවදන් ඉතිහාසය පුරා මේ රාජ්‍යය ගොඩනැගීම සඳහා ලබා දී තිබෙනවා. රාජ්‍යය තර්ජනයට මුහුණ දූන් සෑම අවස්ථාවකම එහි ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. එවැනි භික්ෂු උරුමයක් තිබෙනවා. එම උරුම ඒ විදියටම පිළිගැනීමට අපි සූදානම්. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ගොඩනැගුණු සාකච්ඡාවේදී අපේ ඓතිහාසික උරුම මත මේ සංචාරක කර්මාන්තය ගොඩනැගීමේ විභවතාවක් තිබෙන බව සාකච්ඡාවට ගැනුණා.

ඒ වගේම අපේ රටේ සොබා සෞන්දර්ය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධානතම ප්‍රභවයක්. ඒ වගේම අපේ වන ජීවි කලාප,  අපේ ජනතාවගේ ආගන්තුක සත්කාර පිළිබඳ තිබෙන ලෝකයේ ඇගයුම ඉතා වැදගත්. එසේ නොමැතිව වෙනත් දේවල් අපේ සංචාරක කර්මාන්තයේ ප්‍රවණතා නොවෙයි. ඒ වගේම, මම දුටුවා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක් පිළිබඳ කතා බහක් ඇති වී තිබෙනවා. ඊට අදාළව කළින් සකස් කළ සංශෝධනයක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත්, එය පාර්ලිමේන්තුවේ සම්මත වී නැහැ. දැන් අපිට අවස්ථාව තිබෙනවා අවශ්‍ය නම් ඊට තවත් සංශෝධන ගෙන ඒමට, නැත්නම් තිබෙන විදියට තැබීමට.

මේ කිසිදු නීතියක් සම්පාදනය කර තිබෙන්නේ අපේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් නොවෙයි. මෙම නීති සම්පාදනයේදී අවධානය යොමු කර තිබෙන්නේ පොදු යහපත පිළිබඳවයි.  මීට වඩා යහපත් රාජ්‍යයක් ගොඩනැගීමේ සිහිනයක් අපිට තිබෙනවා. ඒ සිහිනය ඉටු කර ගත හැක්කේ පාලක කණ්ඩායම ලෙස අපි අපට පැවරී තිබෙන කාර්යභාරය නිසි ලෙස හඳුනාගෙන කටයුතු කිරීමෙන්. එහි විශාල පංගුවක් අපේ මහා නායක ස්වාමින් වහන්සේලාට පැවරී තිබෙනවා. 

මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක්

එම සමාජ පුනරුදය ඇති කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. අතීතයේ දී රාජ්‍යය අභියෝගයට පත් වූ සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණියේ මහා සංඝරත්නය යි. ධර්මධර, විනයධර, සුපේෂල ශික්ෂාකාමී මහා යතිවරයාණන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ ජාතික, ආගමික, සමාජයීය සහ අධ්‍යාපනික වශයෙන් ඉටු කරන සේවාව මෙහි දී අගය කළ යුතුයි. මෙම යුගය පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ වැනි යතිවරයාණන් වහන්සේලා දහස් ගණනක් අවශ්‍ය වන යුගයක්. මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීම රජයේ අරමුණ යි. එහි දී ගම්දනව් සිසාරා වැඩම කරමින් ජනතාව අවදි කිරීමේ දී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි යි.

මල්වතු - අස්ගිරි උභය මහා විහාරයීය අතිපූජ්‍ය අනුනායක ස්වාමීන් වහන්සේ සහ කාරක මහා සංඝ සභික ස්වාමින් වහන්සේලා, අන්‍යාගමික පූජකවරු, මැති ඇමතිවරු, විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක්, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමෙවරයා, දේවාලවල බස්නායක නිලමේවරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
(සටහන - ජයසිරි අලවත්ත)
 
 


kandy 10.04kandy 2 10.04

kandy 3 10.04

kandy 4 10.04

kandy 5 10.04

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැහැ - ජනපති අවධාරණය කරයි | The Leader