2025 ඔක්තෝබර් 2 වැනි බ්‍රහස්පතින්දා මත් ද්‍රව්‍ය චෝදනාවක් මත පේසාලේ පොලිස්ථානය විසින් අත් අඩංගුවට ගන්නා ලද වව්නියාව, මාන්කුලමේ පදිංචි රාජේන්ද්‍රන් කපිලන් 3 වැනි සිකුරාදා පොලිස් කූඩුවේදී මරුමුවට පත්වී ඇත.
රාජේන්ද්‍රන් කපිලන්ගේ මව චෝදනා කරන්නේ සිය 34 හැවිරිදි පුතුගේ මරණය පොලීසිය විසින් සිදු කළ පහරදීමකින් සිදුවු ඝාතනයක් බවයි.

"අපිට ට්‍රැක්ටරයක් තියෙනවා. එයා මන්නාරමේ නගුල තියන නිසා තමයි මෙහෙට ආවේ. එයා මෙහෙට ආවම පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියනවා. උදේට මට උසාවියට එන්න කිව්වා. මම මෙහෙට එනකොට මගේ දරුවව ඝාතනය කරලා. මගේ දරුවාට කිසිම රෝගයක් නැහැ. අද උදේ මම දැක්කා මගේ දරුවා මැරිලා ඉන්නවා."
මන්නාරම වැඩබලන මහේස්ත්‍රාත් සෙබමාලෙයි ජෙබනේසන් ලෝගු පේසාලේ රෝහලේදී සැප්තැම්බර් 3 වැනිදා මරණය සම්බන්ධයෙන් මූලික විභාගය පවත්වා තිබුනි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ රාජේන්ද්‍රන් කපිලන්ගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ වන තෙක්ම නිකුත් කර නොමැති බවයි. රාජේන්ද්‍රන් කපිලන්ගේ දේහයද මේ වන තෙක් ඔහුගේ ඥාතීන් වෙත බාර දී නැත.
කෝටි බාගයක් පරීක්ෂාවට
ගතවූ මාස නමයක කාලය තුල පොලීසිය, විශේෂ කාර්ය සාධක බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී කෝටි බාගයකට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩිව පරීක්ෂා කොට ලක්ෂයකට අධික පිරිසක් අත් අඩංගුවට ගන්නා ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රික් උදය කුමාර වූට්ලර් 2025 සැප්තැම්බර් මාසයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කර තිබුනි.
"මේ වසර පුරා මේ වන විට පනස් එක් ලක්ෂයක පුරවැසියන් අපිට තීව්‍ර ලෙස පරීක්ෂා කිරීමකට අපි ලක් කරලා තියනවා. ඒ පරීක්ෂා කිරීම් හරහා එක් ලක්ෂ හාර දහසක පිරිසක් අපි අත්අඩංගුවට අරගෙන තියනවා. ඔවුන් ප්‍රශ්න කිරීම් සදහා යොමු කරලා තියනවා."
පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සඳහා පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ ඉලක්ක සැලකිල්ලට ගැනීම වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අභිනව පොලිස්පතිවරයාට 2025 අගෝස්තු 18 වැනිද ලිඛිතව දැනුම් දී තිබුනි.




