අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ.
විවිධ චෝදනාවලට ලක්වූ විනිසුරුවරුන්ගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබුණි.
ඒ අනුව එම විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමක් සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
එම අඩ වැටුප් සමග ඔවුන්ට ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතිකා ඒකාබද්ධතා අමාත්‍යංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වී තිබේ.
එහිදී එම කමිටුව විසින් තීරණය කර ඇත්තේ වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමේ දී වෘත්තීය දීමනා, පුද්ගලික දීමනා, ජීවන වියදම් දීමනා සහ භාෂා දීමනා පමණක් අදාළ කරගත යුතු බවය.
දුරකථන දීමනා, වාහන දීමනා, රියදුරු දීමනා, පොත් දීමනා, ගෙවල් කුලී දීමනා, අභියාචනා දීමනාව සහ ඉන්ධන දීමනාව අදාළ විනිසුරුවරුන්ට නොගෙවිය යුතු බවට විගණන හා කළමනාකරණ කමිටුව විසින් තීරණය කර තිබේ.
එම තීරණයට අනුව වැඩතහනම් කළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් අඩ වැටුප් ගෙවීම සමග ගෙවිය යුතු දීමනා පිළිබඳව වන චක්‍රලේඛය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.
| aruna




