විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි සඳහන් යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට පාර්ලිමේන්තු කාර්යාලයේදී අද (7) බාර දෙනු ලැබීය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මදුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කවින්ද ජයවර්ධන හර්ෂණ රාජකරුණා ජේ.සි අලවතුවල සහ ඩී.වී චානක සහභාගි වූහ.
ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය බහාලුම් නිදහස් කිරීමේ අක්‍රමික ස්වරූපය සැලකිල්ලට ගනිමින් මෙම බහාලුම්වල අන්තර්ගතය පිළිබඳව තමන් හට වගකීම බාරගත නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැවින්ද එම බහාලුම්වලින් මත්ද්‍රව්‍ය ආයුධ හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය මෙරටට ගෙනවිත් භාවිත කර තිබිය හැකි බවට පාර්ලිමේන්තුවේදී මෙන්ම වගකිවයුතු බලධාරීන් බරපතළ චෝදනා එල්ල කර ඇති බැවින්ද මේ සිද්ධිය ජාතික ආරක්ෂාව හා සම්බන්ධ වන බැවින්ද මේ සම්බන්ධයෙන් කරැණු සොයා බලා වාර්තා කිරීම පිණිස විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවට පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි යනුවෙන් එම යෝජනාවේ සඳහන්වේ.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කවින්ද ජයවර්ධන පැවසුවේ මෙම බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළා හැරෙන්නට රජය තවමත් පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කර නැති බවයි.
එසේ හෙයින් එම වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසටද එහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් භාරදුන් යෝජනාව මතු පළවේ.





