කෑගල්ලේ පදිංචිකාරයකු වු ශාන්ත සමරවීර අවුරුදු 15කට ඉහතදී පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ 'ගන්සයිට්' භුගත වධකාගාරයේ රඳවා තබා ගෙන අතුරුදහන් කිරීමට අදාල නඩුව 2025 ඔක්තෝබර් 08 වැනි බදාදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී යළි විභාගයට ගැනුනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වසරකට ඉහතදී නාවික හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටි ලේඛන දිගින් දිගටම ලබා නොදෙන නාවික හමුදාපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අගතියට පත් පාර්ශවය පසුගිය නඩු වාරයේදී අධිකරණයෙන් කර තිබු ඉල්ලීම සම්බන්ධයෙන් දෙසතියකින් තීන්දුවක් ලබා දෙන බව 2025 සැප්තැම්බර් 24 වැනි බදාදා මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබුනි.
පොල්ගහවෙල මහේස්ත්‍රාත් DRU උදුම්බරා දසනායක ඔක්තෝබර් 08 වැනිදා අධිකරණයට දැනුම් දී සිටියේ ඉල්ලා සිටි පරිදිම නොමැති නමුත් නාවික හමුදාපතිවරයා මෙම විමර්ශනය සදහා වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින් ඔහු ප්‍රශ්න කිරීම සදහා අධිකරණයට කැදවීමේ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න අධිකරණය හමුවේ අවධාරණය කළේ නාවික හමුදාව පිළිගත් සහ විධිමත් ආයතනයක් බැවින් එම ලේඛන නාවික හමුදාව සතුව නොමැති බවට නාවික හමුදාපතිවරයාට ප්‍රකාශ කළ නොහැකි බවයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් වන රාජ්‍ය ආයතනයකට එවැනි ප්‍රකාශයක් කළ නොහැකි බව අධිකරණයට පෙන්වා දුන් ඇය අදාල ලේඛන නාවික හමුදාව සතුව නොමැති බවට ප්‍රකාශ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බව අධිකරණය හමුවේ වැඩි දුරටත් සදහන් කළාය.
වර්තමාන නාවික හමුදාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින ලේඛන ලබා දීමේ කිසිදු ගැටළුවක් හෝ බාධාවක් නොමැති බවට තර්ක කරන නීතිඥවරිය තව දුරටත් කියා සිටියේ නාවික හමුදාපතිවරයා සිතා මතාම මෙවැනි ආකාරයෙන් කටයුතු කරනවා නම් මෙම අපරාධය සමග එහි යම් ආකාරයක සම්බන්ධයක් පවතීදැයි යන්න පිළිබඳව ප්‍රශ්නයක් ඇති වන හෙයින් ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවයි.
ත්‍රිකුණාමයේ කුප්‍රකට ‘ගන්සයිට්’ භූගත වධකාගාරය නිරීක්ෂණයෙන් අනතුරුව එහි ක්‍රියාත්මක වන විශේෂ බුද්ධි ඒකකය සම්බන්ධයෙන් එවක අධ්‍යක්‍ෂ, නාවික බුද්ධි ලෙස නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදාපතිවරයාට ලිපියක් යවා ඇති බව හිටපු නාවික හමුදාපතිවරයා මීට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබුනි.
විත්ති පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයන් පෙන්වා දුන්නේ හිටපු නාවික හමුදාපතිවරයා එවැනි ලිපියක් යවා ඇති බව ප්‍රකාශ කරන අතර වත්මන් නාවික හමුදාපතිවරයා එවැනි ලේඛනයක් නොමැති බව ප්‍රකාශ කර ඇති නිසා ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය කුමක්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරිය බවයි.
වින්දිත පාර්ශවයේ හා විත්ති පාර්ශවයේ නීතිඥයන්ගේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේත් තර්ක වලට ඇහුම්කන දුන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් වරිය වත්මන් නාවික හමුදාපතිවරයා අධිකරණයට කැදවා ප්‍රකාශයක් ලබා දෙන ලෙස පසුගිය නඩු වාරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් වින්දිත පාර්ශවයක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඉල්ලා සිටින පරිදිම ලේඛන ලබා දීමක් සිදු කර නොමැති නමුත් නාවික හමුදාපතිවරයා අධිකරණයට ලේඛනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහු අධිකරණයට කැදවීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දිය නොහැකි බවට ප්‍රකාශ කරමිනි.
අවශ්‍ය ලේඛන මොනවාද යන්න නිරවුල්ව ඉදිරියේදී අධිකරණයෙන් ඉල්ලීම් කළහොත් එම ලේඛන ලබා දීමට නියෝග කළ හැකි බවත්, නොඑසේනම් ඉදිරි පියවර ගැනීමට හැකියාව පවතින බවටත් මහේස්ත්‍රාත්වරිය වැඩි දුරටත් සදහන් කළාය.
මෙම නඩුවට අදාලව මේ වන විටත් අධිකරණයෙන් ඇප ලබා සිටින අංක 6,7,8 යන සැකකාර නාවික හමුදා සාමාජිකයන් තිදෙනා දිගින් දිගටම දෙසතියකට වරක් අධිකරණය හමුවේ පෙනී සිටිමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සලකා බලන ලෙස විත්තිය පාර්ශවයේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පොල්ගහවෙල මහේස්ත්‍රාත් DRU උදුම්බරා දසනායක නියෝග කළේ ලබන වසරේ ජනවාරි 28 වැනි දින ඔවුන් තිදෙනාට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
කෑගල්ලේ පදිංචිකාරයකු වු ශාන්ත සමරවීර අවුරුදු 15කට ඉහතදී පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ'ගන්සයිට්' භුගත වධකාගාරයේ රඳවා තබා ගෙන අතුරුදහන් කිරීමේ චෝදනාවලට අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න හා හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් මොහොට්ටි අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේ නැත. ඒ දෙදෙනා අධිකරණය හමුවට පමුණුවන ලද්දේ අන්තර්ජාල තාක්ෂණය යොදා ගනිමිනි. අංක 10 දරන සැකකාර නාවික හමුදා සාමාජික දිනේෂ් වරුණ ලසන්න අධිකරණයට ඉදිරිපත් කර තිබුනි.
සැකකාර හිටපු නැව්පතියන් දෙදෙනාත්, දහ වන සැකකරුත් ඔක්තෝබර් 22 දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ ඇතුළු නිලධාරීන් තිදෙනෙක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මෙම විමර්ශනයට අදාලව නාවික හමුදාපතිවරයාගේ සහාය නොලැබෙන්නේනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයේ කාලය මිඩංගු නොකර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ ප්‍රතිපාදන නීතියේ පවතින බවයි.
“යම් නිලධාරියෙක් විමර්ශයට සහාය ලබා දෙන්නේ නැතිනම් සහ යම් විමර්ශනයකට බාධා කරනවානම් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ සහ අනිකුත් නීතිවල විශේෂයෙන් කරුණු දක්වලා තිබෙනවා එවැනි පුද්ගලයන්ට විරුද්ධව කොහොමද කටයුතු කරන්නේ කියලා. මම හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ කාලය මිඩංගු කරන්න ඔන නැහැ. මෙම විමර්ශන වලට සහාය එම පාර්ශවයන්ගේ. ඒ කියන්නේ නාවික හමුදාව විසින් ලබා දෙන්නේ නැතිනම් පුර්ව අවස්ථා තිබෙනවා, මේ අධිකරණ නඩු කටයුතු සම්බන්ධ තිබුනා තවත් ළමයි 11 දෙනකුට අදාල නඩු කරයක්. ඒවගේම ප්‍රශ්න මතු උනා අපිට. අත්දැකීම් තියනවා. ඒ අනුව මං හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාධාවක් නැහැ. ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබෙනවා.,”
නඩුවට අදාළ ලිපිලේඛන නාවික හමුදාව සතුව නොමැතිවීම, නීතිඥ අචලා සෙනෙවිරත්න සඳහන් කළ අතුරුදහන් කරන ලද 11 දෙනා අතරින් එක දරුවකුගේ මව විසින් හඳුන්වන ලද්දේ ‘පුදුමයට කාරණයක්’ ලෙසිනි.
“අපේ ඉස්සර නඩුවටත් ඕකම තමයි කර කර හිටියේ. දැනුත් ඒ සෙල්ලමම තමයි කරගෙන යන්නේ. තාමත් මන් හිතන්නේ ඉස්සර පුටුවල හිටපු මිනිස්සු තාමත් ඉන්නවා කියලා,” යි නඩු විභාගයෙන් අනතුරුව ජෙනිෆර් වීරසිංහ මාතාව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළාය.
ඇගේ පුත් මොහොමඩ් ජමාල්ඩීන් දිලාන් ඇතුළු කොළඹ හා ඒ අවටින් පැහැරගන්නා ලද 11 දෙනාද අතුරුදහන් කරනු ලැබීමට පෙර ‘ගන්සයිට්’ භූගත වධකාගාරයේ සිරකොට සිටි බවට විශ්වසනීය සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපති අද්මිරාල් උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජුලි 28 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුනේ 2010 ජුලි 22 දා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන එයින් දින කීපයකට පසු අතුරුදහන් කරන ලද ගනේරාලලාගේ ශාන්ත සමරවීර රඳවා සිටි බව හෙළිවී ඇති ගන්සයිට් නාවික හමුදා වධකාගාරය ඒ සමයේ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ නිශාන්ත උළුගේතැන්න යටතේ ක්‍රියාත්මක වූ නිසාය.
ත්‍රිකුණාමලයේ භුගත ගන්සයිට් කඳවුර තමා බාරයේ පැවැතියත් එහි විශේෂ බුද්ධි ඒකකය නමින් හැදින්වෙන ඒකකයක් ක්‍රියාත්මක වු අතර එය නාවික හමුදා බුද්ධි අංශය විසින් මෙහෙයවන ලද ඒකකයක් නොවන බව දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහත නඩු වාරයකදී අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් ව තිබුනි.
ඒ වන විට එහි පුද්ගලයන් 40 - 60 ත් අතර පිරිසක් රදවා සිටි බව දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න දැනුම් දුන් බව එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහිදි අධිකරණයට දැනුම් දී තිබුනි.
ත්‍රිකුණාමයේ කුප්‍රකට ‘ගන්සයිට්’ භූගත වධකාගාරය නිරීක්ෂණයෙන් අනතුරුව එහි ක්‍රියාත්මක වන විශේෂ බුද්ධි ඒකකය සම්බන්ධයෙන් එවක අධ්‍යක්‍ෂ, නාවික බුද්ධි ලෙස නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදාපතිවරයාට යවන ලද බව පැවසෙන ලිපියේ පිටපතක් 2024 ඔක්තෝබර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වත්මන් නාවික හමුදාපතිවරයාගෙන් ඉල්ලා ඇතත් මේ වන තෙක් එම වාර්තාව ලබා දී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නඩු වාර කිහිපයකදීම අධිකරණයට කරුණු වාර්තා කළේය.
ශාන්ත සමරවීර පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් වනිග චින්තාමානි මොහොට්ටි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබුනේ 2025 සැප්තැම්බර් 18 වැනි දිනයි.




