අධිකරණයට ඉදිරිපත් කළ මුදල් ඇස්තමේන්තුව මේ දක්වා අධිකරණ හා මුදල් අමාත්‍යාංශ දෙකට යොමු කර නැති බව හෙළි වී තිබේ.
ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ සමුහ මිනී වළක කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 28 ක මුදල් ඇස්තමේන්තුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ 2025 සැප්තැම්බර් 23 වැනි දිනයි.
කුරුක්කල්මඩමේ කැනීම් කටයුතු වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ මුදල් ඇස්තමේන්තුව පිලිගත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් මහේස්ත්‍රාත්වරයා එය මහාධිකරණය හරහා අදාල අමාත්‍යාංශ වෙත යොමු කරන ලෙස එදින නියෝග කර තිබුනි.
2025 ඔක්තෝබර් 9 වැනි බ්‍රහස්පතින්දා එම නඩුව කලවංචිකුඩි මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ යළි විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥමුසාම් මුබාරක් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ මුදල් ඇස්තමේන්තුව මහාධිකරණයට ලැබී ඇති බවත් එය අධිකරණ හා මුදල් අමාත්‍යාංශ වෙත යොමු කරන බවත් මහාධිකරණය විසින් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දිනයේ දැනුම් දුන් බවයි.
"අයවැය වාර්තාව මහාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එය මහාධිකරණය හරහා අධිකරණ හා මුදල් අමාත්‍යාංශ වෙත යොමු කරන බව අද අධිකරණයට දැනුම් දුන්නා."
ඒ අනුව මෙම නඩුව 2025 ඔක්තෝබර් 27 වැනි දින යළි විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව නීතිඥ මුසාම් මුබාරක් වැඩි දුරටත් සදහන් කරයි.
ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ සමුහ මිනී වළක් ඇති බව පැවසෙන ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස 2025 අගෝස්තු 25 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර් රජයේ නිලධාරීන්ට නියෝග කර තිබුනි.
දශක තුන හමාරකට ඉහත දී සිදු වු එම සමුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයටයි.
ශ්‍රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී කැනීම් ආරම්භ කිරීමට නියමිත පළමු සමූහ මිනීවල මෙය වන්නේය.
2014 සංචාරක අධිකරණයේ
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 1990 වසරේ හජ් වන්දනාව අවසන් කර කාත්තන්කුඩිය වෙත පැමිණෙමින් සිටි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් සමුල ඝාතනය කර වළ දමා ඇති බවට ප්‍රදේශවාසියකු වන අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් කලවංචිකුඩ් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව 2014 දී කලවංචිකුඩි සංචාරක අධිකරණයේ නඩුවක් ගොනු කර තිබු බවයි.
එම නඩුව 2014 වසරේ ජුලි 01 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ සමුල ඝාතනය කළ පිරිස වළ දමා ඇති බවට සාධාරණ සැකයක් පවතින භුමිය කැනීම් කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස විනිසුරු ඒ.එම් රියාල් නියෝග කළත් එම කටයුතු සිදු නොවු බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් සිය නීතිඥයන් මාර්ගයෙන් කලවංචිකුඩ් මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද මෝසමක් මත පදනම්ව එකොලොස් වසරකට පසුව 2025 ජුලි 11 වැනි දින සිට විවෘත අධිකරණයේදී මෙම නඩුව යළි විභාගයට ගැනීම ආරම්භ කර තිබුනි.

සබැඳි ලිපි :
කුරුක්කල්මඩම් සමූහ මිනීවල කැනීමට ලක්ෂ 28 ක ඇස්තමේන්තුවක් යවයි
මුස්ලිම්වරුන් වලදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවලක් කැනීමට නියම කෙරේ




