ශ්‍රී ලංකාව නිදහස ලබා අවුරුදු 76ක් ගතවූ කාලය තුළ යම්කිසි ගමන් මගක යොමුවුණා ද ඒ ගමන්මග විවිධ අවස්ථාවල දී පෙරළිකාර සිදුවීම් තුළින් වෙනස් වී අද තියෙන තත්ත්වයට පැමිණීම තුළ ඇතිවිය හැකි ඒ දරු උපතේ වේදනාකාරී අවස්ථා ලෙස සලකන්නට පුළුවන් යැයි උන්වහන්සේ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ, 'දෙරණ' මාධ්‍ය ජාලයේ විසි වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (09) කොළඹ අගරදගුරු මැදුරු දේවස්ථානයේ පැවැත්වූ තුති පිදීමේ දේව මෙහෙයට එක්වෙමිනි.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු තුති පිදීමේ දේව මෙහෙයට දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර, උපසභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය හා දෙරණ කාර්ය මණ්ඩලය සහභාගි විය.
දිව්‍ය පූජාව අතරතුර කාදිනල් හිමිපාණන් විසින් සිදුකළ සම්පුර්න දේශනාව මතු පළවේ.
දරු උපතේ වේදනාකාරී අවස්ථා
''මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි දෙරණ මාධ්‍ය ජාලයේ ඉන්න සහෝදර සහෝදරියනි,
වසර 20ක් කියන්නේ ඉතිහාසය තුළ බලද්දි ඉතාම කෙටි කාලයක්. නමුත් මනුෂ්‍යයෙකුගේ ජිවිත කාලය තුළ ඒ බලන කල දිගු කාලයක් කියලා සලකන්න පුළුවන්.
පසුගිය වසර 20 ශ්‍රී ලංකා ඉතිහාසයේ සමාජීය, ආගමික හා ආර්ථික වශයෙන් සුවිශාල කලබකාරි තත්ත්ව කිහිපයන් ඇතිවූ කාලපරිච්ඡේදයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දේශපාලන වශයෙන් සමාජයීය වශයෙන් විශාල පෙරළි කිහිපයක් පසුගිය කාලය තුළ සිදුවුණා. ඒ ශ්‍රී ලංකාව නිදහස ලබා අවුරුදු 76ක් ගතවූ කාලය තුළ යම්කිසි ගමන් මගක යොමුවුණා ද ඒ ගමන්මග විවිධ අවස්ථාවල දී පෙරළිකාර සිදුවීම් තුළින් වෙනස් වෙලා අද තියෙන තත්ත්වයට පැමිණීම තුළ ඇතිවිය හැකි ඒ දරු උපතේ වේදනාකාරී අවස්ථා ලෙස සලකන්නට පුළුවන්.
ශ්‍රී ලංකාව තුළ සාමයේ, සහජීවනයේ, ප්‍රගතියේ ගමන් මාර්ගයකට අවතීර්ණ වීම සඳහා නීතියේ ආධිපත්‍යයත්, විනයත්, දේශප්‍රේමි ආකල්ප ජනතාව තුළ ජනිත කරලීම සඳහා යන ගමන් මගක අතවශ්‍ය කොටසක් ලෙස මේ පසුගිය අවුරුදු 20 හඳුන්වන්න පුළුවන්.
දෙරණ මාධ්‍ය ජාලය ඉතාමත්ව අවංකව තමන්ගේ සේවා කටයුතු ඉටු කරමින් ජනතාව ඒ සිදුවන විවිධ වෙනස්කම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඒ වගේම ජනතාව තුළ යම්කිසි අවබෝධයක් මේ රටේ පවතින තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ඇතිකරලීම සඳහා ක්‍රියාකාරීවුණු මාධ්‍ය ජාලයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුතියි කියලා කියනවා.
මේ මාධ්‍ය ජාලය තුළින් ශ්‍රී ලංකා දේශයට සිදුවූ සේවය පිළිබඳව. එහි නිර්මාතෘ දිලිත් ජයවීර මැතිතුමා ඇතුළු එහි නායකත්වය ගන්න සියලු දෙනාට අපගේ ගෞරවය, ප්‍රශංසාව මේ වෙලාවේ හිමිකර දෙන්නට කැමතියි.
අපේ සභ්‍යත්වය සහ ඉතිහාසය, සංස්කෘතිය හැදිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය තුළ
ආදරණීය සහෝදර සහෝදරියනි...,
අපි කොහේද යන්නේ කියන එක ගැන මේ වගේ අවස්ථාවක මෙනෙහි කිරීම සුදුසුයි කියලා මම විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත් ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන රටක්. අද ලෝකයේ දියුණු යැයි කියන සමහර රටවල ඉතිහාසය සමග සංසන්දනය කර බලද්දි අපිට තියෙන්නේ ඉතාමත්ම පැරණි වගේම දියුණු ශිෂ්ටාචාරයක ඉතිහාසයක්. අපේ ඉතිහාස පොත්වල ක්‍රිස්තුපූර්ව 3වැනි ශතවර්ෂයේ ශ්‍රී ලංකාවට බුද්ධාගම පැමිණි මොහොතටත් පෙර සිට ම ලංකාවේ අනුරාධපුර යුගය සහ ඊටත් කලින් තිබුණු ප්‍රාග් යුගය තුළ කොයිතරම් දියුණු ශිෂ්ටාචාරයක් ශ්‍රී ලංකාවේ තිබුණ ද කියලා ඉතිහාස පොත්වල ලියලා තිබෙන දේවල්වලට අමතරව ලියලා නැති දේවල් පිළිබඳ අපි කල්පනා කරලා බැලුවොත් මානව වර්ගයා දියුණුව ලබාගැනීම සඳහා යම් ගමනක් ගියා ද ඒ ගමන ශ්‍රී ලංකා දේශය තුළත් සිදුවූ බවත් අපිට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්.
විශේෂයෙන්ම අපේ සභ්‍යත්වය සහ ඉතිහාසය, සංස්කෘතිය හැදිලා තියෙන්නේ මේ රටට උරුමවෙච්ච ප්‍රධාන ම පෙළේ දායාදයක් වන බෞද්ධ දර්ශනය තුළ බව අපි අනිවාර්යෙන්ම පිළිගන්න ඕන. ඒ දර්ශනය තුළ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ උතුම් ධර්මය මේ රටේ චින්තනය හැඩගස්වන්න බොහෝ දුරට දායකවූ බව පැහැදිලියි.
ඒ වගේම මේ රටේ චාරිත්‍ර වාරිත්‍ර, මේ රටේ හොඳයි කියලා කියන දේ තෝරා බේරා ගැනීම සඳහා විශාල දායකත්වයක් ඒ සභ්‍යත්වය අපිට ලබාදීලා තියෙනවා. එලෙස ම ඉන් පසුව ශ්‍රී ලංකා දේශයට සැපත්වූ අනෙකුත් ආගම් ඉස්ලාමි ධර්මය, හින්දු ධර්මය සහ ක්‍රිස්තු ධර්මය කියන මේ අනෙකුත් ආගම් අදහන අය ද ශ්‍රී ලංකා දේශයේ තමන්ගේ හැකියාවට අනුව, තමන්ගේ දර්ශනයට අනුව එම චින්තය තවත් පෝෂණය කිරීමට යම් අයුරකින් දායක වෙලා තියෙනවා.
අන්‍ය දේශවලින් පැමිණී යහපත් දේ සහ සුදුසුදේ පමණක් පිළිගන්න
අද අපි සියලු දෙනා ශීලාචාරයි, ශිෂ්ටසම්පන්නයි කියලා කියන බොහෝ දේ මෙන්න මේ උරුමයෙන් අපිට ඇවිල්ලා තියෙන දේවල් ලෙස අපි සලකන්නට ඕන. ඒ නිසා ප්‍රගතිය කියලා කියන වචනයත් සමග මේ සංස්කෘතිය මේ සභ්‍යත්වය අනිවාර්යෙන්ම අත්වැල් බැඳගෙන ගමනක් යා යුතුයි. අපිට උරුම නැති බාහිර සංස්කෘතීන් සහ සභ්‍යයත්වයන්ගෙන් යහපත් දේ තෝරා බේරා ගැනීමට අපි දැනගත යුතුයි. අපි මුහුකුරා යා යුතුයි.
අවුරුදු 2600 -2700ක පමණ කාලයක් තිස්සේ පැවත එන උරුමයන් සහිත අපිට පිටරටවල්වලින් එන දේවල් හොඳ ද නරක ද කියලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ එන හැම දෙයක්ම අපි පිළිගත යුතු වන්නේ නැහැ.පිටරටවලින් ඒන දේවල් හොඳ ද නරක ද කියලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ එන හැමදෙයක්ම අපි පිළිගත යුතු වන්නේ නැහැ. ප්‍රගතිය කියලා කියන්නේ ඒක නෙමෙයි. ප්‍රගතිය කියලා කියන්නේ අනුන් අනුකරණය කිරීම නෙවෙයි. තමන්ට සුදුසු යැයි කියනදේ තෝරාබේරාගෙන තමන්ගේ රටට ප්‍රගතිය සඳහා වන දේ වෙන දෙයක් තියෙනවා නම්, ඒ දේ තේරුම් බේරුම් කරගෙන මේ රට තුළ ඒක ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේ ම වගකීමක්. මේක දේශපාලන නායකත්වයේ වගකීමක් නෙමෙයි. මේක මුළු රටේ ම වගකීමක්.
ඒ නිසා අපි මේ රටට ආදරය කරන පුරවැසියන් හැටියට, අපේ මේ පසුගිය උරුමය අමතක කර දමා විදේශීය රටවල්වලින් පැමිණෙන චින්තන පස්සේ, වහලුන්වාගේ, එහෙම නැත්නම් නිකම් තද වචනයක් කිව්වොත් ඇඹලයන් වගේ ඒක පස්සෙන් යාම අපේ ආත්මගරුත්වයට මදිකමක් හැටියට අපි සලකන්න ඕන අපිටත් ආත්මගරුත්වයක් තියෙනවා. අපි මේ ආසියාකරයේ සමහර රටවල්වලට වඩා දිර්ඝ ඉතිහාසයක් තියෙන රටක්. එහෙනම් අපේ රට ගැන අපි උද්දාමයට පත්විය යුතුයි. උද්දාමයට පත්වීම තුළ අපි අපේ රට තුළ තියෙන දේවල්වල සිරකරුවන් විය යුතු නැහැ. නමුත් අපි අන්‍ය දේශවලින් පැමිණී යහපත් දේ, තෝරාබේරාගෙන අපේ රට තුළට සුදුසුදේ පමණක් පිළීගැනීම සහ ඒවා අපේ රටට ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවා නම් ඒවා පමණක් මේ රට තුළ ක්‍රියාත්මක කිරීම බුද්ධිමත් නායකත්වයක පැවැත්මක් වෙනවා.
මේ රටට අපි ජනිත වීම ගැන අපි සතුටු විය යුතුයි
අපේ රට ලෝකයේ මම දැක්ක ඉතාම ලස්සන රටක් ලෙස හදුන්වන්න පුළුවන්. හැම අතින්ම ආශිර්වාදලත් රටක්. මේ දේශගුණය, ඇළ දොළ ගංගා අපේ කඳු වැටි, අපේ ස්වාභාවධර්මය සතා සිව්පා මේ සියලුදෙයින්ම පෝෂණය වෙච්ච මනරම් දේශයක ජනිත වෙන්නට අපි වසනාව ලබාගෙන තිබෙනවා. ඒක තමයි අර අමරදේව මහත්මයා ගායනාකරපු සිංදුව, ඒක අපට මතක් වෙනවා. සසර වසන තුරු, නිවන් දකින තුරු, පිං කෙත හෙළ දෙරණේ, යළි උපදින්නට හේතු වාසනා. මේ රටට අපි ජනිත වීම ගැන අපි විශේෂයෙන්ම සතුටු විය යුතුයි; ස්තූතියි වන්ත විය යුතුයි. කතෝලික ධර්මයට අනුව, අපි දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා මේවගේ රටක් තුළ අපිව ජනිත කරවීම ගැන.
අපේ මව්පියන්ගෙන් අපි උරුමකරගත්තු, අපේ මුතුන්මිත්තන්ගෙන් උරුම කරගත්තු පොළොව තුළ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ අය වැළලීගිය පොළොව තුළ තමයි අපි ජීවත්වෙන්නේ. ඒනිසා අපේ හදවත මේ විදේශීය සංස්කෘතීන් පස්සේ දුවන හදවතක් නෙවෙයි. අපේ රට තූළ අපිට උරුම විය ඇති සංස්කෘතිය අගය කරන්න අපි පුරුදු වෙන්න ඕන. එහෙම නැතුව පිටරටින් එන හැමදේම බදාගැනීම නෙමෙයි අප කළ යුතු වන්නේ. ඒ නිසා මෙතනදී අපේ නායකත්වය අප මතක තබාගන්න ඕන. ශ්‍රී ලංකාව තුළ මේ හැම පෙරළියක්ම සිද්ධ වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ යහපත ගැන සිතන්නේ නැතුව අනුන් අනුකරණය කිරීම සහ අනුන්ට වහල්වීම තුළ අපි මේ ජීවත්වන ජීවිත ක්‍රමය පිළිබඳව ඇති, අප්‍රසාදයක් පදනම් කරගෙන. අපේ සමාජය තුළ දිළිඳුකම දරිද්‍රතාවය ඒවැනි දේවලින් පීඩා විඳින බොහෝ දෙනෙක් ඉන්නවා.
අපි, අපේ දරුවන්ට මොනව ද ලබාදෙන්නේ...?
අද මා දන්න තරමට පවුල් 5ක් ගත්තොත් ඉන් පවුල් දෙකක්වත් එදිනෙදා වේල හොයාගන්නට බැරිව ජීවත්වෙන පවුල් හැටියට හඳුන්වන්න පුළුවන් වෙනවා. රටේ තියෙන ජීවන අංකයේ සැරපරුෂ බව සහ දැන් තියෙන ආර්ථීක අපහසුතාවය නිසා මාසයක පවුලක් ජීවත් කරවීම විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා බොහෝ පිරිසකට. එවැනි පරිසරයක අපි විදේශීය රටවලින් ණය ලබාගත යුතුයි කියලා, අපි ණය ලබාගන්න එපා කියනවා නෙවෙයි. නමුත් විදේශීය රටවලින් අපි ණය ලබාගන්නවානම් ඒ ණය පියවීම සඳහා අප විසින් ගත යුතු වැරදි නැති ක්‍රියාමාර්ග ගන්නට අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා අපි හිතුවක්කාරී ලෙස අපේ රටේ සංස්කෘතියත් එක අතකින් පාවා දෙමින් වෙනත් රටවල වහලුන් බවට පත්වෙමින්, ඒ අය කියන කියන දේ කරන්නට යමින් අපේ රටේ උරුමය අකා මකා දමන්නට කටයුතු කිරීම වැරදියි.
විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව වෙත මේ වෙලාවේ අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. දෙමාපියන් වැඩිහිටියන් විදියට අපේ දරුවන්ට අපි මොනවද ලබාදෙන්නේ කියන එක ගැන මෙනෙහි කළ යුතුයි. විශේෂයෙන්ම ආගමික චින්තනය සදාචාරය ශීලාචාරකම මනුෂ්‍යයන් අතර වර්ධනය විය යුතු ප්‍රේමයේ සහ දයාවේ සබැඳියාවන් වර්ධනය කිරීම සඳහා සහයෝගය ලබාදීම වැනි දේවල් තුළින් අප රට තුළ එකමුතුකමත් සාමයත් සහජීවනයත් වර්ධනය කරන අතරම ආර්ථීක වශයෙන් සැමගේ ම ජීවිත සුඛිත මුදිත කරන්නට ගතහැකි හැම පියවරක්ම අපි ගත යුතු යි.
විශේෂයෙන්ම දිළිඳුන් සහ අසරණයන් වෙනුවෙන් යම් කිසි ආකරයක ආධාර උපකාර කිරීම සහයෝගය ලබාදීමක් මේ වේලාවේ ඒ ගැන සිතන්නට ඕන, රට පාලනය කරන උදවිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟවිය යුතුයි කියන එක මම විවේචනය කරන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහලුන් විය යුතුවන්නේ නැහැ. මෙ රටේ ජනතාවගේ පවතින ඒ විශාල ද්‍රරිද්‍රතාවය ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔවුන් ජාත්‍යන්තර වශයෙන් අද ලෝකය තුළ පැතිරිලා තියෙන ආර්ථීක ක්‍රමවේදයේ යම් යම් ලබා ප්‍රයෝජන ලබාගත් රටවල්වල මුදල් ආයෝජන කිීරීමෙන් තමයි ඒ බැංකු නිර්මාණය වෙලා තියෙන්නේ.
එහෙමනම් ඒ ධනවත් රටවල ආකල්ප වලට අනුව අපි ණය ලබාගෙන ඒ රටවල වහලුන් බවට පත්විය යුතු වන්නේ නැහැ.
මිනිස්සුන්ට තළන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
අපිටත් ආත්ම ගරුත්වයක් කියලා එකක් තියෙනවා මේ රටේ. ඒක ආරක්ෂා කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට ප්‍රතිචාර දක්වමින් අපේ රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය ගැන ඔවුන් දැනුවත් කරමින් ඔවුන්ගෙන් ලබාගන්නා ඒ ආධාරවලට අපිට කළ හැකි කළ නොහැකි දේවල් ගැන ඔවුන් දැනුවත් කරමින් ඒ කොන්දේසි වෙනස් කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. අපි ණයක් ගන්න ගියාම අපිට බැරි කොන්දේසි පනවනවා නම් අපි කොහොමද ජීවත් වෙන්නේ...?
මේ රටේ මිනිස්සුන්ගේ ද්‍රරිතාවය නැතිකර දැමීමට සඳහා සුභ සාධන වැඩපිළිවෙළ පවතින රජයක් විසින් තීරණය කරලා ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. නැතිව දැන් බොහෝ දෙනෙක් අමාරුවෙන් ජීවත් වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා කියලා ඒ මිනිස්සුන්ට තළන එක, ඒ මිනිස්සුන්ට යුක්ති සහගත දෙයක් විදියට අපිට හුවා දක්වන්න බැහැ. ඒ නිසා අද මා විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ එක පැත්තකින් ආර්ථික නිදහස සඳහා කටයුතු කරද්දි විශේෂයෙන්ම ඒ කරන ක්‍රියාමාර්ගවලින් පීඩනට පත්වන ජනතාව ගැන අවබෝධයක් ඇති කරගෙන ඒ අයට ලැබෙන පීඩනය තුනී කිරීමට යම් යම් සහනදායි වැඩපිළිවෙළ සංවිධානය කිරීම දිගට ම කරගෙන යා යුතුයි.
අපිටත්, අපේ රටේ උරුමයක් තියෙනවා
ඉස්සර තිබුණා විවිධ සහනාදාර ක්‍රමයක්. දිළිඳු අයට ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කරදීමට. දැන් ඒවා ක්‍රමක් ක්‍රමයෙන් මේ කොන්දේසි මත නැති ක්‍රියාපිළිවෙතක් ලෙස පියවර තබමින් ඉන්නවා. අනිත් පැත්තෙන් සංස්කෘතික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් අපේ සංස්කෘතියට ගැළපෙන ක්‍රමවේද අනුගමනය කරනවා වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වෙනත් එවැනි සංවිධානවලින් අපිට ඉදිරිපත් කරන යෝජනා අනුව අපේ සංස්කෘතික උරුමය නැතිකර ගන්නට කටයුතු නොකළ යුතුයි.
ඒ නිසා මාධ්‍යයට විශාල වගකීමක් පැවරෙනවා. එනම් අපේ රටේ අනන්‍යතාව සංස්කෘතික ආගමික ශීෂ්ඨාචාර ක්‍රමවේද ආරක්ෂා කිරීමට බයනැතිව හඩ නැගීම.
ආත්ම ගෞරවය විකුණා මුදල් නොගත යුතුයි
මේ දිනවල අපි විශේෂයෙන්ම සාකච්ඡා කරමින් පවතින ඒ විවිධාකාර යෝජනා රජය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන විවිධාකාර යෝජනා තුළ ඉතාමත් භයානක දෙයක් සිදුවෙමින් පවතිනවා කියලා හිතන්න පුළුවන්. උදා විදියට දැන් නීතියක් ගේන්න යනවා විදේශ රටවල බලපෑම තුළ දරුවන්ට පාසල්වල දඬුවම් කිරීම පිළිබඳව. මේ නීතිය නිසා දරුවෙකුට පුළුවන්කම ලැබෙනවාලු තමන්ගේ පියා තමන්ට දොස් කිව්වොත් එයට විරුද්ධව පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරලා එයාව හිරේට දමන්න කටයුතු කරන්න. ඇයි දොස් කිව්වයි කියලා මේ විදිහේ දේවල් මෙහෙම කරන්න ගියොත් එහෙම අපේ රටේ දරුවන්ගේ අනාගතය මොකක්ද? එතකොට අපිට කවදාවත් අපේ පාසල්වල අපේ ආයතනවල ඒ කියන්නේ අධ්‍යාපනික ආයතනවල වැරදි කරන ළමයින්ට යහමග පෙන්වාදීම සඳහා ආදරයෙන් කළ යුතු දෙයක් කරුණාවෙන් කළයුතු දෙයක් ශාරීරික දඬුවම් කරන්නේ නැතුව යම් යම් දේ කියාදීම තුළ කළයුතු දෙයක් එවැනි දේ කියාදීම තුළ කරුණාවෙන් සහ දයාවෙන් ඒ දේ කිරීම සඳහා ඉඩකඩ තිබිය යුතුයි. මගපෙන්වීමට අපිට ශක්තිය තිබිය යුතුයි.
ඉතින් මෙවැනි නීති රීති මේ රටට සුදුසුද? දැන් මේ වෙලාවේ අපි මේ සමාජ ක්‍රමය වෙනස් කරමින් ඉල්ලා සිටියේ මේ වගේ දේවල් කරන්නද? එහෙම නෙවෙයිනේ අපි මේ වගේ දේවල් කරන්න කිව්වේ නැහැනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් එවැනි සංවිධාන රටට යම් යම් දේවල් බලහත්කාරයෙන් වගේ කවන්නට උත්සාහ කිරීම අපි හෙළාදැකිය යුතුයි. අපේ ආත්ම ගෞරවය විකුණලා මුදල් ගන්නට අපි සූදානම් නොවිය යුතුයි. අපේ රටට ආත්ම ගෞරවයක් තියෙනවා. ශිෂ්ඨාචාරයක් තියෙනවා. ආගමික චින්තනයක් තියෙනවා. සභ්‍යත්වයක් තියෙනවා. මේ තුළ විතරයි අපි හැමදේම කළ යුතු වන්නේ අපේ රටේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ මාධ්‍යවේදීන්ගෙන් කරුණාකර මේ දේශය විනාශ කරන තේරුමක් නැති නීතිරීති සහ අනෙකුත් දේවල් ප්‍රතික්ෂේප කිරීම සඳහා ජනතාව දැනුවත් කරන්න. ඒ ඔබගේ වගකීමයි.
ඔබගේ වගකීම මේ කියන කියන හැමදේකට ම හෝයියා කීම නෙවෙයි. මේ කියන දේවල් හරියාකාරව කිරලා බලලා සුදුසු දේ සහ නුසුදුසු දේ අතර තෝරාගැනීමක් කරලා ඔබගේ මාධ්‍ය තුළින් ජනතාව යහපත් මාර්ගය තුළ පවත්වාගෙන යන්නට උදව්වෙන්න යහපත් සමාජයක් අප රට තුළ අලංකාරව ඇතිකරන්න උදව්වෙන්න. රට ලස්සනයි, මේ වගේ රටක් තුළ ජනිතවෙන්න අපි ඇත්තටම වාසනාවන්තයි. එහෙමනම් මේ රට ඒ බාහිර අලංකාරය වගේම ආධ්‍යාත්මිකව අලංකාරව තබාගැනීම සඳහා දායකවෙන්න කියලා මම ඔබසැමගෙන් විශේෂයෙන් ම දෙරණ මාධ්‍ය ජාලයෙන් ඉල්ලා සිටීමට කැමතියි.
ඔබ සැමට දෙවි පිහිටයි.''




