මරණ තර්ජනය කළ බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායකවරයා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වව්නියාව කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ඔක්තෝබර් 9 වැනිදා එම පැමිණිල්ල යොමු කර ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක එස්.තවපාලන් විසිනි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසු ඔහු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, දෙමළ ජනයාට අයත් තිරිවෛත්‍යකුලම්හි භුමිය බෝගස්වැව ගම්මානයේ පදිංචි සිංහල ජනතාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගැනීමක් සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පී. සත්‍යලිංගම් ඇතුළු කණ්ඩායමක් සැප්තැම්බර් මාසයේ දී ගිය අවස්ථාවකදී තමන්ගේ සහ දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනකුගේ නම් සදහන් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක බිමල් ධර්මදාස මෙලෙස මරණ තර්ජනය සිදු කර ඇති බවයි.
"පසුගිය මාසේ 30 වැනි දින වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. සත්‍යලිංගම් සහ වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසක් තිරිවෛත්‍යකුලම් ප්‍රදේශයේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට ගියා. ඉඩම් ආක්‍රමණය කර සිටින බිමල් ධර්මදාස ඇතුළු කණ්ඩායම එතනට ඇවිල්ලා පැමිණ සිටි පිරිසට තර්ජනය කරලා, මගේ නමත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුරෙයිරාසා තමිල්චෙල්වන් සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ගේ නමත් සදහන් කරලා ‘උන් මෙහි ඉන්නවාද? අපි ආවේ උන්ව කපා, කොටා මරන්න තමයි’ කියලා තර්ජනය කරා.”
දෙමළ ජාතික ජනතා පෙරමුණේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක එස්.තවපාලන් මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් කියා සිටියේ වව්නියාව බෝගස්වැව ගම්මානයේ පදිංචිව සිටින සිංහල ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක බිමල් ධර්මදාසගේ උපකාර ඇතිව රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් මේ වන විටත් වගා කටයුතු වල නිතර වෙමින් සිටින බවයි.
එයට අමතරව වව්නියාව, නෙදුන්කේනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ තිරිවෛත්‍යකුලම් ග්‍රාමයේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අක්කර 210 ක් බලහත්කාරයෙන් අල්ලා ගැනීම සදහා බොගස්වැව පදිංචි සිංහල ජනතාවට බිමල් ධර්මදාස ගේ සහාය හිමිව ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.
වව්නියාව දිස්ත්‍රික් සංවිධායක එස්.තවපාලන් පවසන්නේ තමන් වව්නියාව කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ඉදිරිපත් කළ පැමිනිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ඒ මොහොතේම බෝගස්වැව පොලිස්ථානයට යොමු කිරීමට එහි නිලධාරින් කටයුතු කළ බවයි.
දෙමළ බහුතරයක් වෙසෙන වව්නියාව දිස්ත්‍රික්කයේ අලුතින් පිහිටුවන ලද ජනාවාස වල ජීවත් වන සිංහල ජනයාට වගා කිරීම සදහා රාජ්‍ය ආයතනයක් විසින් ඉඩම් බෙදාදීම අසල්වාසී සිංහල, දෙමළ ජනයා අතර නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීම ආරම්භ වී තිබුනේ මීට මාස කිහිපයකට ඉහතදීය.
දැනටමත් සිය වගා භුමිය අත්පත්කරගෙන සිටින සිංහලයන් විසින් තිරිවෛත්‍යකුලම්හි අලුතින් වන විනාශයක් සිදු කරන බවට ඉලංකෙයි තමිල් අරසු කච්චි වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් හා තුරෙයිරාසා තමිල්චෙල්වන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා මුල් වරට හෙළි කර තිබුනේ 2025 ජුලි මාසයේදීය.
එම භුමියේ වගා කටයුතු වල නිරත වන සිංහල ගොවියකු බවට තමන් හදුන්වා දෙමින් බිමල් ධර්මදාස සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය ජුලි මාසයේ ප්‍රකාශ කර තිබුනේ සිංහල ජනයා කාෂිකර්මාන්තයේ යෙදී සිටින භුමිය සිය පාරම්පරික භුමිය වන අතර අලුතින් එළිපෙහෙලි කිරීම් සිදු කර ඇත්තේ මහවැලි සංවර්ධන අධිකාරියේ අවසරය මත බවයි.
වසර 40 ක පමණ කාලයක් තුළ ඝණ කැලෑවැදී ඇති භුමිය සිංහල ගොවීන් විසින් වගා කටයුතු සදහා අලුතින් සුද්ද කිරීමේ කටයුතු සිදු කරන්නේ මහවැලි සංවර්ධන අධිකාරියෙන් ලබා දුන් අවසරය මත බව සපත කරන බිමල් ධර්මදාස 2025 ජුලි මාසයේදී වැඩි දුරටත් කියා තිබුනේ සිංහල ගොවීන් බදු බලපත්‍ර යටතේ එම භුමියේ වගා කටයුතු සිදු කරන බවටයි.




