ඔහු මෙම අදහස් පළ කළේ විදුලිබල මණ්ඩලය පෞදගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයට සහ අසාධාරණ ගාස්තු ඉහළ දැමීමට එරෙහිව කරුණු දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (10) කැඳ වූ විශේෂ මාධ්‍ය හමුවක දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් කරුණු දැක්වූ පුබුදු ජයගොඩ...
කොළේ වහලා මණ්ඩලේ විකුණන්නයි හදන්නෙ
"ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වුණේ ජනතාවාදී ලේබලය අලවගෙන. නමුත් දැන් ඒ ජනතාවාදය වචනවලට විතරක් සීමා වෙලා ආණ්ඩුව වේගයෙන් නවලිබරල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකරමින් යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුවට අනුව ජනතාද්‍රෝහී තීරණ විශාල ප්‍රමාණයක් මේ වෙද්දිත් ආණ්ඩුව අරගෙන ඉවරයි. ඒ වැඩපිළිවෙළේ දිගුවක් විදිහට තමයි විදුලිබල මණ්ඩලය කොටස්කරලා විකුණන්න පුලුවන් විදිහට 2025 / 16 දරණ ලංකා විදුලිබල සංශෝධන පනත අරගෙන ඇවිත් තියෙන්නේ.
ආණ්ඩුව කියන විදිහට මේ පනත ගෙනල්ලා තියෙන්නේ ජනතාවට කාර්‍යක්ෂම සේවාවක් සපයන්න. හැබැයි මේ පනත පැහැදිලව කියවද්දි අපිට පේනවා කොලේ වහලා මණ්ඩලේ විකුණන්න තමයි ආණ්ඩුව මේ ඉඩ හදාගෙන තියෙන්නේ.
සංශෝධන පනත ඉතා භයානකයි
අපි දන්නවා ලංකා විදුලිබල මණ්ඩලය හැදුවේ 1969 / 17 දරණ පනතින්. විදුලිය කියන්නේ සියලු ජනතාවගේ මූලික අයිතියක් කියන කරුණ තමයි මේ පනතේ මූලික අරමුණ වුණේ. පසුගිය ආණ්ඩු දිගින් දිගටම උත්සහ කළා මේ පනත සංශෝධනය කරලා විදුලිබල මණ්ඩලය විකුණන්න. නමුත් ජනතා විරෝධය හමුවේ ඒ සියලු වැඩපිළිවෙළවල් අසාර්ථක වුනා.
නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ කාංචන විජේසේකර එවකට විදුලිබල අමාත්‍යවරයා IMF කොන්දේසි අනුව විදුලිබල මණ්ඩලය මස් කරලා විකුණන්න පුළුවන් විදිහේ පනතක් සම්මත කරගත්තා. හැබැයි ඒ පනත ක්‍රියාත්මක කරන්න ඉඩක් ලැබුණේ නෑ. මේ ආණ්ඩුව බලයට ආවෙ ම ඒ පනත අහෝසි කරනවා කියලා ජනතාවට පොරොන්දු වෙලා. නමුත් පනත අහෝසි කරනවා වෙනුවට ඒ පනතටත් වඩා භයානක සංශෝධන පනතක් මේ වෙද්දි ආණ්ඩුව ගෙනල්ලා.
මේ පනතට අනුව ඉදිරියට එන කවර ආණ්ඩුවක් යටතේ හෝ මණ්ඩලය විකුණන්න පුළුවන්
රනිල් කාංචන පනතේ නම් මණ්ඩලය සමාගම් 12කට කැඩෙනවා කියලා නිශ්චිතව සඳහන් වුණා. හැබැයි මේ ආණ්ඩුව සම්මත කරපු පනත අනුව මණ්ඩලය කැඩෙන සමාගම් ගණන ජනතාවට දැනගන්න පුළුවන් වෙන්නේ අවුරුදු දෙකකට පස්සේ. ඒ කියන්නේ පෙරහැර ගියාට පස්සේ තමයි ගියපු අලි ගාණ දැනගන්න වෙන්නේ. එතකල් ටිල්වින්ව විශ්වාසයි, අනුරව විශ්වාසයි කිය කිය තමයි ජනතාවට ඉන්න වෙන්නේ.
කාංචනගේ පනතේ පැහැදිලිව තිබුණා ජල විදුලිය අයිති සමාගම් පෞදගලීකරණය කරන්න බැහැ ඒක පූර්ණ රාජ්‍ය අයිතිය සහිත සමාගමක් විදිහට පවතිනවා කියලා. නමුත් මේගොල්ලො මේ පනත ගෙනාවෙ ම ඒකත් පෞදගලීකරණය කරන්න පුළුවන් විදිහට. පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය තමයි කිව්වේ ජල විදුලිය පෞදගලීකරණය වීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීමේ අවදානමක් තියනවා ඒ නිසා පනතේ ඒ වගන්තිය සංශෝධනය කරන්න කියලා. මොකද ලංකාවේ නීතිය අනුව ජලය කියන්නේ මූලික මිනිස් අයිතියක්. ඒ නිසා ජල විදුලිය පෞදගලීකරණය කරන්න නම් ඒකට ජනමත විචාරණයක් තියන්න ඕන.
2023 - 24 අවුරුදුවල රුපියල් කෝටි විසිදාහක් වැඩිපුර ගෙවලා
දැන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න නම් විදුලිබල මණ්ඩලය අධික ලාභ ලබන සමාගමක් විදිහට වෙළඳපොලට පෙන්න ඕන. එහෙම ලාභ ලැබුවොත් තමයි සමාගම මිලදී ගන්න ආයෝජකයෝ එන්නේ. ඒ නිසා දැන් එක එක සෙල්ලම් දාගෙන විදුලිබල මණ්ඩලය බිලියන ගණං විශාල ලාභ හොයනවා. හැබැයි ඒ ලාභ හොයන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයවා අතිශයින් මෙලෙච්ඡ විදිහට සූරා කෑමට ලක් කරලා. පිරිවය පරාවර්තනය කියලා ලස්සන නමක් ඉස්සරහට දාගෙන පසුගිය අවුරුදු කිහිපය ඇතුළේ විදුලිබල මණ්ඩලය බිලියන ගණං ලාභ හොයලා තියනවා. 2023 අවුරුද්දේ විතරක් හොයපු ලාභය රුපියල් බිලියන 57.63යි. ඊටපස්සෙ 2024 අවුරුද්දේ ලාභය රුපියල් බිලියන 147.39යි. මේ අවුරුදු දෙක ඇතුළේ විතරක් රුපියල් කෝටි 20,000ක අධික ලාභයක් හොයලා.
පහුගිය කාලේ ලංකාවේ නිවාස ලක්ෂ දහයක විදුලිය කප්පාදු කරලා. බිල ගෙව්වේ නෑ කියලා. සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත 11,000ක් විදුලිබිල ගෙවාගන්න බැරුව වැහිලා ගිහිල්ලා. රටේ ආර්ථිකයට ජන ජීවිතයට විශාල වන්දියක් ගෙවන්න සලස්වලා තමයි කෝටි 20,000ක් ලාභ හොයලා තියෙන්නේ. 1969 පනත ගෙනාවෙම විදුලිය ලාභ නොලබන මහජන සේවාවක් විදිහට පවත්වාගෙන යෑම සඳහා. ඒ පනතට අනුව ලාභය කියලා වචනයක් නෑ. ජනතාව විදුලි බිලක් මේ වසරෙදි ගෙවන්නේ ලබන වසරෙත් විදුලිය ලබා ගැනීම සඳහා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් විදිහට. ඒ අනුව බලනකොට අපිට පේනවා 2025 අවුරුද්දේ විදුලිය සඳහා ලංකාවේ විදුලි පාරිභෝගිකයා 2023 - 24 අවුරුදුවල රුපියල් කෝටි විසිදාහක් වැඩිපුර ගෙවලා. එච්චර මුදලක් රටේ ජනතාවගෙන් මංකොල්ල කෑවට පස්සෙත් දැන් ආයෙමත් විදුලිබිල වැඩිකරන්න ඕන කියලා මහජන උපයෝගිතා කොමිසමට යනවා විදුලිබල මන්ඩලය. මේක ඉතාම තක්කඩි වැඩක්.
රුපියල් කෝටි 816ක් ජනතාවගෙන් වැඩිපුර හූරගෙන
පසුගිය ජුනි මාසේ මහජන උපයෝගිතා කොමිසමට ඇවිත් කිව්වේ 2025 පළමු කාර්තුවේ රුපියල් බිලියන 18ක් පාඩුයි ඒ නිසා විදුලි ගාස්තු 18%කින් ඉහළ දාන්න ඕන කියලා. නමුත් අපි එතන ඔප්පු කරලා පෙන්නුවා ඒ ගණනය කිරීම වැරදියි කියලා. මොකද 2024 කාර්තුවේ බිලියන 25ක ලාභය එකතු කරලා බැලුවම බිලියන 7ක අතිරික්තයකුත් තියනවා. හැබැයි අංක විජ්ජා පෙන්නලා ගාස්තුව වැඩි කළා. මේකෙන් ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස තුනේ මණ්ඩලය හොයපු ලාභය රුපියල් බිලියන 8ක්.
අපි කට කැඩෙනකල් මහජන උපයෝගිතා කොමිසමට කිව්වා මේ හදන්නේ ජනතාවගෙන් සූරා කන්න. මේකට ඉඩ තියන්න එපා කියලා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ රුපියල් කෝටි 816ක් ජනතාවගෙන් වැඩිපුර හූරගෙන.
දැන් විදුලිබල මාණ්ඩලයක් නැ; ඒක මස් කරලා ඉවරයි
එච්චර ලාභයක් හෙව්වට පස්සෙත් දැන් ආයෙම පාඩුයි කියාගෙන මේගොල්ලො මහජන උපයෝගිතා කොමිසමට ගිහිල්ලා. ඒ පාඩුව ගණනය කරලා තියන විදිහ සම්පූර්ණයෙන් වැරදියි. ඉදිරි පාඩුව රුපියල් කෝටි 769ක් වෙන්න නියමිතයි කියලා තමයි ආණ්ඩුව පැත්තෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් උමා ඔය ප්‍රමාද වෙච්ච නිසා ගෙවන්න වෙච්ච රුපියල් කෝටි 150ක් එකතු කරලා වියදම් ගොඩට. අපි අහන්නේ ඒක ඇයි ජනතාවෙගේ විදුලි බිලෙන් ගෙවන්න ඕන ? උමා ඔය ප්‍රමාද වෙච්ච එකට වගකියන්න ඕන මේ රටේ සාමාන්‍ය ජනතාව ද,
ඊළඟට විදුලිබල මණ්ඩලයට මූලස්ථානයක් හදන්න කියලා තව වියදමක් එකතු කරන්න යනවා. අලුතෙන් ගෙනාව පනතට අනුව විදුලිබල මාණ්ඩලයක් නැ දැන්. ඒක මස් කරලා ඉවරයි. එහෙම නම් මොකටද මූලස්ථානයක් ?
අනිත් එක තමයි මේගොල්ලො විදුලිබල මණ්ඩලය මස් කරලා විකුණද්දි අස් කරන්න වෙන සේවකයන්ට ගෙවන්න ඕන වන්දියත් විදුලි පාරිභෝකියගේ පිටින් යවන්න හදන්නේ. ඒකට රුපියල් බිලියන 25ක් විතර අවශ්‍ය වෙනවා. රටේ ජනතාව කිව්වේ නෑ ආණ්ඩුවට මණ්ඩලය මස් කරලා ඉන්න සේවකයන්ට වන්දියක් ගෙවලා අස් කරන්න කියලා. දැන් මේගොල්ලො හදන්නේ ඒ වන්දියත් ජනතාවගේ පිටින් යවන්න.
විදුලිය කියන්නේ ජනතාව ගේ මූලික අයිතියක්
දැන් ආණ්ඩුව මේ ඔක්කොම කරන්නේ පෞදගලීක අංශයයි IMF එකයි සනසවන්න. මොකද IMF ඊළඟ ණය වාරිකය ගන්න නම් විදුලිබල මණ්ඩලය අධික ලාභයක් අරගෙන පෙන්නන්න ඕන. ඊළඟට ව්‍යාපාරිකයන්ට විකුණන්න මේක ලාභ ලබන තැනක් බවට පත් කරන්න ඕන. දැන් ඒ සියල්ලටම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනනතාවට.
අපි මහජන උපයෝගිතා කොමිසමට කියනවා කරුණාකරලා මේ වැඩේ කරන්න ඉඩ දෙන්න එපා. මේ රටේ ලක්ෂ ගණං ජනතාව අඳුරේ තියලා සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත විනාශයට යවලා ලාභ උපයන්න මේ සූදානම් වෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය පවා මේ මේ වැඩේ නිසා බිඳ වැටෙන්න නියමිතයි. අනිත් එක තමයි අපි රටේ ජනතාවටත් කියනවා විදුලිය කියන්නේ ඔබේ මූලික අයිතියක්. ඒ අයිතියත් එක්ක කිසිඳු ආණ්ඩුවකට සෙල්ලම් කරන්න ඉඩ තියන්න එපා. ඒ නිසා මේ අසාධාරණ ජනතාද්‍රෝහී ප්‍රතිපත්තිය පරජාය කරන්න අවශ්‍ය මහජන බලයක් හදමු කියන යෝජනාව අපි ජනතාවට කරනවා.''
(සටහන - ජයසිරි අලවත්ත)




