මෙය ඉතා ම පැහැදිලි ලෝක දේශපාලන යථාර්ථයක් බවත් අලුත් ආණ්ඩුවක පළමුවන කැබිනට් සංශෝධනය යනු ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය උත්සවාකාරයෙන් එළිදැක්වෙන අවස්ථාවක් බවත් ඔහු සඳහන් කළේ ය.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමුවන කැබිනට් සංශෝධනය වනාහි ආණ්ඩුවේ පසුගිය මාස 12ක කාලය පුරා ආණ්ඩුව ඇතුළේ බුර බුරා නැඟුණු අර්බුදය එළියට පැමිණි අවස්ථාව බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
බහලුම් මගඩිය බිමල් රත්නායක ඇමතිවරයා මත පටවා ආණ්ඩුවේ ඉතුරු කොටස නිදහස් කර ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරනු ඇතැයි කී මන්ත්‍රි සංජීව එදිරිමාන්න, බහලුම් මගඩියට ඇමතිවරයා පමණක් නොව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ම සම්බන්ධ බවට ද චෝදනා කළේ ය.
එවකට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පළමු කැබිනට් සංශෝධනයේදීද කම්කරු ඇමති ධීවර ඇමති වූ බවත් ඇතුළේ අර්බුද වසා ගැනීමට මේ අයුරින් කැබිනට් සංශෝධන සිදු කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ, පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
'මා විනිශ්චය කරන්නේ විපක්ෂය නොවේ '- ඇමති බිමල්
මේ අතර ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කර සිටියේ,
තමා කිසිදු අවස්ථාවක විපක්ෂයෙන් සහතික ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවයි.
දැනට පවතින විපක්ෂය තුළ, 2029 වසරේදී තම පාර්ශ්වයට අභියෝගයක් විය හැකි වැඩපිළිවෙලක් හෝ දැක්මක් සහිත පක්ෂයක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නව අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
පොදු එකඟතාවක තීන්දුවක්
බිමල් රත්නායක ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අමාත්‍යාංශවල යම් කුඩා වෙනස්කම් ප්‍රමාණයක් කර ගැනීමටත්, ඒ වගේම දක්ෂ අලුත් කණ්ඩායමකට නියෝජ්‍ය අමාත්‍ය තනතුරු සහ කැබිනට් අමාත්‍ය තනතුරක් ලබා දීමටත් තීරණය කරන ලද්දේ මාස ගණනක් තිස්සේ කරන ලද සංවාදයක ප්‍රතිඵලයක් ලෙස බවයි.
එය පොදු එකඟතාවක තීන්දුවක් බව ද ඔහු සඳහන් කළේය.
මෙම නව අමාත්‍යාංශ වගකීම් භාරගැනීම තුළ තමාට වැඩි වගකීමක් ලැබී ඇති බවත්, එය විශාල එකක් බවත්, ඒ ගැන සැකයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
තවද, ඔහු පෙර වරාය සහ නාවික සේවා අංශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, වරාය සහ නාවික සේවා අංශය උපාය මාර්ගිකව ඉතා වැදගත් වුවද, එය එක් ස්ථානයකට සීමා වී ඇති බැවින් ජනතාව දිනපතාම සම්බන්ධ වන ප්‍රමාණය අඩු බවයි.
කෙසේ වෙතත්, නාගරික සංවර්ධනය සහ ඊට අදාළ ක්ෂේත්‍රය ඊට වඩා වැදගත් සහ ප්‍රධාන බව ද ඔහු පෙන්වා දුන්නේය.
තමාව විනිශ්චය කරනු ලබන්නේ විපක්ෂය නොව, තම පක්ෂය, තම පවුල සහ සමාජය බව ද අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය




