එහිදී අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරකුට පහර දුන් බවට චෝදනා කරමින් නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් කරන චෝදනාවක් එම වීඩියෝවේ අන්තර්ගත විය.
පසුව චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද එනම් ඔක්තෝබර් 13 දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ඒ අනුව නඩුව නැවත කැඳවීම අද දිනයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වූ අතර සැකකාර පොලිස් නිලධාරියා රු. ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් විසින් නියෝග කරන ලදී.
එමෙන් ම එහි ඉදිරි කටයුතු සඳහා සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට ද නියෝග කර තිබේ.
මේ අතර ඇප ලබා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පොලිස් නිලධාරියා පිළිගැනීමට ද පිරිසක් අධිකරණ භුමිය අසල එක්රැස් වී සිටියහ.
අධිකරණ භූමියේදී සිදු වුණේ කුමක් ද?
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙන්නේ 2025 ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ය.
එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඔක්තෝබර් 11 වන දින ය.
එමෙන් ම සමාජ මාධ්‍යයේ හුවමාරු වූ වීඩියෝවක නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ඒ මොහොතේ පොලිස් නිලධාරීන් හට බැණ වදින ආකාරය දැක්වේ.
එහිදී එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු පොලිස් නිලධාරීන්ට පවසන අතර, පොලිස්පතිවරයා විය හැකි අයෙකු ඇමතීමට උත්සහ කරන ආකාරයක් දැක්වේ.
ඒ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරන බවට පවසමින් ය.
අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනුණේ ඒ අනුව ය.
ඉන්පසුව ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔක්තෝබර් 12 වන දින නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කිසිඳු මැදිහත්වීමක් සිදු කර නොමැති බව යි.
"මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිඳු විටෙක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැත. නමුත් පොලිස්පතිතුමන් විසින් ඉහත නිලධාරින් අමතන විට ත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර ගුණරත්න වන්නිනායක නීතිඥවරයාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවසට ද ඊයේ දින පොලීසිය විසින් පැමිණ තිබිණි.
ඇප ලැබූ පොලිස් කොස්තාපල් පිළිගෙන ජනතාව කර මතින් රැගෙන යයි
අපක්ෂපාතී පරීක්ෂණයක්
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ත්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරන ලදී.
"ඔබ දන්නවා අපි බලයට පත් වුණාට පස්සේ පොලිසිය දේශපාලනීකරණයෙන් නිදහස් කරලා පොලිසියට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් පරිසරය උදා කරලා දුන්නා. ඒ නිසා පොලිසියෙ සියලු දෙනා ධෛර්යසම්පන්නව තමන්ගේ වැඩ කරමින් ඉන්නවා," ඔහු පැවසුවේ ය.
"පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විදිහට උසාවි භූමිය තුළ රාජකාරී සඳහා ඔවුන්ව යොදවලා තිබුණා. එවැනි රාජකාරියක දී සිටි නිලධාරියෙකු සම්බන්ධයෙන් මේ වෙනකොට ඔහුගේ පාර්ශවයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. අපි පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කියන්න කැමතියි ඒ පොලිස් නිලධාරියාට අගතියක්, අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පොලිසිය භාර ඇමතිවරයා හැටියටත් පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් පෙනී සිටින්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් මැදිහත්වීමක් කරනවා."
එමෙන් ම ඒ වන විට පොලිස් නිලධාරියා බන්ධනාගාර ගත කර ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන නමුත් ඒ මොහොතේ නීතිඥවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව ඔහු පැවසුවේ ය.
"කොහොමවුණත් ඒ වෙලාවේ ඒ ආරවුලට මුල් වුණ නීතිඥවරයාගේ හැසිරීම පිළිබඳව අපි මේ වෙලාවේ දැඩි කනස්සල්ල පළ කරනවා."
ඒ මොහොතේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර, ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව ය.
"පොලිසියේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා ඒ අවස්ථාවේ පොලිසිය හරියට කටයුතු කරලා තියෙනවද කියලා බලන්න. ඒ වගේ ම දැනට අපක්ෂපාතී අපරාධ විමර්ශනයක් සිදු කරනවා," පොලිස්පතිවරයා පැවසුවේ ය.
එමෙන් ම පොලිස්පතිවරයා එදින සිදුවීමට සම්බන්ධ නීතිඥවරයා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේ ය.
"නීතියට උඩින් කිසිවක් නෑ. ආප්තයක් තියෙනවා ඔබ කොච්චර උස වුණත් ඔබට ඉහළින් තමයි නීතිය තියෙන්නේ කියලා. එම නිතිඥවරයාගේ හැසිරීමෙන් එම නීතිඥවරයා නිරුවත් වුණා පමණක් නෙවෙයි සමස්ත නීතිඥ ප්‍රජාවම නිරුවත් වුණා. එවැනි නිරුවත් නීතිඥවරයෙකු වෙනුවෙන් සමස්ත ගුණගරුක, නීතිය අගය කරන නීතිඥවරුන්ට පෙනී ඉන්න බෑ. අශෝභනයි, අසික්කිතයි," පොලිස්පතිවරයා පැවසුවේ ය.
මේ අතර මේ වන විට ගල්කිස්ස පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත මාරු කර තිබේ.
(බීබීසී සිංහල සේවය)




