සටන් විරාමය ක්‍රියාත්මක කිරීමත් සමග හමාස් පාලන කලාපයේ ඇති වී තිබෙන ආරක්ෂක හිඩැස පිරවීම පිණිස, හමාස් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ගාසා තීරයේ ආරක්ෂාවට සිය සන්නද්ධ භට පිරිස් යොදවා තිබේ.
හමාස් සංවිධානය නිරායුධ කළ යුතු බවට දැඩි මතයක සිටින එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද, කෙටි කලකට ගාසා තීරයේ පලස්තීන බල ප්‍රදේශයේ අභ්‍යන්තර ආරක්ෂාව හමාස් සංවිධානය වෙත පැවරීමේ වරදක් නැතැයි කියා සිටී. "ඔවුන්ට මොනවද ප්‍රශ්න වගයක් බේරගන්න තියෙනවා කියන්නෙ, ටික කාලයක් දීල බලමු," ඒ ට්‍රම්ප්ගේ ස්වරයයි.
හමාස් සංවිධානය අද ගාසා නගරයේ පුද්ගලයින් 32දෙදෙනෙක් ඝාතනය කළහ. සටන් විරාමය ඇරඹීමත් සමග ගාසා තීරයේ ඇරඹි අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුමක් යටතේ තර්ජිත 'කල්ලියක' සාමාජිකයින් පිරිසක් එසේ ඝාතනය කළ බව පලස්තීන ආරක්ෂක අංශ පැවසීය.
ගාසා නගරයේ එක් පවුලක් වටා ක්‍රියාත්මක 'අන්තරායකර කල්ලි සාමාජිකයින්' පිරිසක් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කළ බව පලස්තීන නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි. එම මෙහෙයුම යටතේ තවත් 24 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී හට ගත් ගැටුම් වලින් 30 දෙනකු තුවාළ ලබා ඇතැයි ද වාර්තා වේ.
අද ඝාතනය වූ කල්ලි සාමාජිකයින් අයත් සංවිධානයේ නම කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. ඔවුන් හමාස් විරෝධී සංවිධානයක් බව රොයිටර්ස් කියයි. කෙසේ වෙතත්, එම සංවිධානය, දකුණු ගාසා තීරයේ ඊශ්‍රායල බල ප්‍රදේශයක් වන රෆා (Rafah) හි ක්‍රියාත්මක දැඩි හමාස් විරෝධී යසෙර් අබු ෂබාබ් (Yasser Abu Shabab) විසින් මෙහෙයවන කල්ලියේ සාමාජිකයින් නොවන බව පලස්තීන නිලධාරියකු විසින් තහවුරු කර තිබේ.
අබු ෂබාබ් සහ ඔහුගේ සහචරයින් ඊශ්‍රායලයට සහයෝගය දක්වන බව හමාස් සංවිධානය චොදනා කරයි. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළද, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව හමාස් ආරක්ෂක අංශ පවසයි.
ගැටලුව විසඳන තෙක් මෙහෙයුම ක්‍රියාත්මක අතර කිසිදු කණ්ඩායමකට නීතිය 'අවභාවිතා' කිරීමට අවකාශ නැතැයි එම ආරක්ෂක අංශ අවධාරණය කරයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/13/2025
Hamas security forces kill 32 members of Gaza 'gang', official says




