එම පුවත්පත එවැනි නිවේදනයක් පළකර ඇත්තේ, ආචාර්ය අතුල පතිනායකගේ නීතිඥයින් සහ පුවත්පත් සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් අතර පසුගිය ඔක්තෝම්බර් 08 වන දා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හමුවේ ඇතිකර ගත් එකඟතාවයට අනුවය.
එම පුවත් නිවේදනයේ මෙසේ සඳහන් වේ.
කනගාටුව ප්‍රකාශ කිරීමයි
''කොළඹ නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහි විමර්ශනයක් ඕනෑ'' ! යන සිරස සහිතව 2024-09-02 වන දා නදී ප්‍රියා ඇරැව්ගොඩ විසින් ලියන ලද අප 'මොනරා' පුවත්පතේ පළකරන ලද ලිපියේ සඳහන් කරුණු නිසි සොයා බැලීමකින් තොරව පළ කර ඇති බව වැඩිදුර කරුණු සොයා බැලීමේ දී අපට තහවුරු ඇති බැවින් එම ලිපිය පළ කිරීම නිසා කොළඹ නීති විද්‍යාලයේ එවකට සිටි විදුහල්පතිවරයාට සිදුව ඇති සිත්තැවුල හෝ අපහාසය පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.''

ආචාර්ය අතුල පතිනායක නීති විද්‍යාලයේ විදුහල්පති ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ද ?
1986 සිට 1995 දක්වා ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥයකු ලෙස කටයුතු කල ආචාර්ය අතුල පතිනායක අනතුරුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතර එහිදී ඩිකින් විශ්ව විද්‍යාලයේ ( Deakin University, Australia) නීති පිඨයේ කථිකාචාර්ය වරයකු ලෙස 1996 සිට වසර 26ක් සේවය කර ඇත.
ඔහු නැවත ශ්‍රී ලංකාව පැමිණ නීති විද්‍යාලයේ විදුහල්පති ධුරයේ වැඩ බාරගනු ලැබුවේ 2021 ඔක්තෝම්බර් මාසයේදීය. ඒ 2024 ඔක්තෝම්බර් දක්වා වූ වසර තුනක සේවා කොන්ත්‍රාත්තුවක් මතය.
එම සේවා කාලය දීර්ඝ කිරීමට නියමිතව තිබියදී ඇතැම් මාධ්‍ය ඔස්සේ ආචාර්ය අතුල පතිනායකට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත්වූ අතර 'මොනරා' පුවත්පතේ පළවූ වාර්තාවද ඒ අතරවිය.




