පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (14) දහවල් කාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ අතර, රටින් පලා ගොස් සිටින අපරාධකරුවන් 40 දෙනෙකුට මේ වනවිට රතු නිවේදන නිකුත් කර ඇති බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අතරින් මේ වනවිට අපරාධකරුවන් 18 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට මෙම වසර තුළ කටයුතු කර ඇතැයි ද පැවසීය.
පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඉෂාරා සෙව්වන්දිව නේපාලයේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.
ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, මෙහිදී තවත් කාන්තාවක් හා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එම පිරිස අතර ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
බොහෝදුරට එම අපරාධකරුවන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට රැගෙන ඒමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඉෂාරා සෙව්වන්දිට ශ්‍රී ලංකා පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.
ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර, කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින් අදාළ ඝාතනය සිදුකර තිබුණි.
ඝාතනය සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් අතර, අනතුරුව විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි CCTV කැමරා පරීක්ෂා කළ අතර එහිදී අනාවරණ වුණේ කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවය.
අදාළ කාන්තාව නීති ක්ෂේත්‍රයේ භාවිත කරන පොතක් තුළ වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙන විත් ඇති බවට එහිදී හෙළිවූ අතර, ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, ඇය මිනුවන්ගොඩ පදිංචි ඉෂාර සෙව්වන්දි නම් කාන්තාවක් බවය.
එම අපරාධය සිදුකර ඉෂාරා සෙව්වන්දි බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති අතර, එයට JK බායි නැමැත්තා උපකාර කර ඇතැයිද වාර්තා වේ. ඇය රුපියල් ලක්ෂ 65ක් පමණ වියදම් කර ඉන්දියාවට පලාගොස් එහි සති තුනක පමණ කාලයක් රැඳී සිට තිබේ. ඉන් අනතුරුව ඉෂාරා බස්වලින් සහ දුම්රියෙන් පලාගොස් ඇති අතර, දින 7කට පසුව ඇය නේපාලයට ළඟා වී ඇතැයි ද වාර්තාවේ. පසුව නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළ මහලේ රැඳී සිටිය දී පෙරේදා (13) අත්අඩංගුවට පත්ව තිබුණි.
නේපාලයේදී කොටුවුණු ඩුප්ලිකේට් ඉෂාරා
ඩුප්ලිකේට් සෙව්වන්දි
පොලිසියේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙම පාතාල කල්ලිය කොටුකර ගැනීමට හැකිවි ඇත්තේ, පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා විසින් දින තුනක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදීය.
නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රොහාන් ඕලුගල පෙරේදා රාත්‍රියේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ඉකුත් සෙනසුරාදා (11 වැනිදා) සිටය.
කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙම මෙහෙයුම රොහාන් ඕලුගලගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවය.
මෙහිදී වඩාත් අවධානයට ලක්ව ඇත්තේ ඉෂාරා සෙව්වන්දි සමග අත්අඩංගුවට ගෙන ඇති, ඉශාරගේ හැඩරුවට සමාන අනෙක් තරුණිය කෙරෙහිය.
ඉෂාරාගේ වර්තමාන පෙනුමද, ඇයගේ ජනමාධ්‍යයට මුදාහරින ලද ඡායාරුපවලට වඩා වෙනස්වන අතර, අත්අඩංගුවට පත්ව ඇති අනෙක් තරුණිය, ඉෂාරාගේ වර්තමාන ස්වරුපයට වඩා සමාන වේ.
ඉෂාරා සෙව්වන්දිට ආදේශකයක් ලෙස යොදා ගත් එම කාන්තාව චාවකච්චේරියේ පදිංචි තක්ෂි නැමැත්තියක් බව හඳුනාගෙන ඇති අතර විවිධ රටවලට පලා යෑමට හැකි වන අයුරින් ඇයට ද පාස්පෝට් සකස් කර ඇතැයි ද අනාවරණය වී තිබේ.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
දින හතරක මෙහෙයුමකින් 'ඉෂාරා සෙව්වන්දි' නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි




