රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබෙනමූලික අයිතිවාසිකම් පෙත්සම් 15ක් පමණ අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවීම සිදුවුණි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ගෙන්වන ලද වාහන අතීතයේදී ශ්‍රී ලංකා රේගුව විසින් මුදාහැර තිබෙන බවත් රේගුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
එසේ මුදාහල වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
මෙම වාහන මුදාගැනීමේදී ආනයනකරුවන් විසින් ගෙවිය යුතු සියයට 35ක අධිභාරය මෙම නඩුකරයෙන් පෙත්සම්කරුවන් සාර්ථක වුවහොත් යළි අයකර ගැනීමට හැකියාව තිබිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා තර්ක කළේය.
මෙහිදී තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකර සමතයට පත්කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා ඉදිරි දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.




