කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇති වීමේ අවදානමක් පිළිබඳව අනතුරු අඟවා තිබේ.
මහ ඔය ද්‍රෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ගංවතුර අවදානම පවතින්නේ කුමන ප්‍රදේශවලට ද?
"මහ ඔය ද්‍රෝණියෙහි අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ යි. ඒ වගේ ම දැදුරු ඔය ද්‍රෝණියෙත්, දැදුරු ඔය ජලාශයේ මේ වන විට තත්පරයට ඝණ අඩි විසි එක් දහස් තුන්සීයකින් ජලය මුදා හැරීම සිදුවෙනවා. ඒත් සමග වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අනතුරු නිකුත් කරනු ලැබුවා," යැයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ, වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා පැවසුවා ය.
එමෙන් ම, රාජංගණය ජලාශයේ ද තත්පරයට ඝණ අඩි 8800ක ශීඝ්‍රතාවකින් ජලය මුදා හැරීම සිදුවන බැවින් කලා ඔයෙහි පහත් බිම්වල වෙසෙන ජනතාවට ද යම් ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
ඉදිරි දින කිහිපයේ ද සැලකිය යුතු වැසි අපේක්ෂා කරන බැවින් කැලණි ගංගා ද්‍රෝණියේ හංවැල්ල සහ ඉන් පහළ ප්‍රදේශවල ගංවතුර නිම්නවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බව වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා සඳහන් කළා ය.
ගංවතුර පවතින අවස්ථාවන්හි ජල ක්‍රීඩා කිරීම, ඔරු පැදීම වැනි අවදානම්සහගත කටයුතුවලින් වැළකී සිටින ලෙස සහ ගංවතුර අවදානම් සහිත ගංගා ද්‍රෝණිවල පහළ මාර්ග භාවිතා කිරීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.
පවුල් 21ක පුද්ගලයින් 73කට බලපෑම්
එම දෙපාර්තුමේන්තුව විසින් ඔක්තෝබර් 20 වන දා උදෑසන 6 වන විට නිකුත් කළ තත්ත්ව වාර්තාවට අනුව ක්ෂණික ජල ගැලීම් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 21ක පුද්ගලයින් 73 දෙනෙකු බලපෑමට ලක්ව ඇත.
අදත් තද වැසි ගැන අනාවැකි
එයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.
දැනට ලංකාවේ ගිනිකොණ දෙසින් වන මුහුදේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ වැසි ඇති විය හැකි බවත් සුළං වේගය විටින් විට වැඩි විමේ අවදානමක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.
ගාල්ල සිට හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට එම බලපෑම පවතින බැවින් ධීවර හා නාවික කටයුතුවලදී ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.
වැස්ස අඩු වෙන්නේ කවදා ද?
එහිදී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ, මෙරිල් මෙන්ඩිස් බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද බලාපොරොත්තු වන බව ය.
"දැනට තියෙන කැළඹිලි ස්වභාවය හෙට දිනයේදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා ඉන්දියාව දෙසට ගමන් කිරීමේ හැකියාව තමයි තියෙන්නේ. එහෙම වුණා ම ලංකාවේ නිරිත දිග කොටසේ වැස්ස වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල ඉස්සරහ දවස් ටිකෙත් වැස්ස බලාපොරොත්තු වෙන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.
කෙසේ වෙතත්, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් ගැන දැනට අනාවැකි පළ කළ නොහැකි බවත් පද්ධතියේ හැසිරීම අනුව එය වෙනස් වනු ඇති බවත් ඔහු පැවසීය.
| බීබීසී සිංහල




