වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් 2025 සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් "ඒ ශ්‍රේණියේ" සම්මානය ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙත පිරිනමා තිබේ.
විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ව හමුවේ මහ බැංකුව ලබාදුන් නායකත්වයට ඇගයීමක් වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ ට මෙම සම්මානය හිමිව ඇත.
ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගිය 13 සිට 18 වැනිදා දක්වා වොෂිංටන් නුවර පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සහභාගී වූ බවත් එහිදී ඉහළ මට්ටමේ ද්වී පාර්ශ්වික සහ බහු පාර්ශ්වික සාකච්ඡා මාලාවකට නියෝජිත පිරිස සහභාගී වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
එම සාකච්ඡාවලදී ආචාර්ය නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව, ලෝක බැංකු සභාපති මුණගැසුණු බවත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලෝක බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණ ගැසී සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී එම ආයතනවල නියෝජිතයන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා ප්‍රතිසංස්කරණට සහයෝගය පළ කළ බවද මහ බැංකුව ප්‍රකාශ කර සිටියි.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් ඇතුළත් ව සිටියේය.
(සටහන | ජේ. මුණසිංහ)




