එය ලබන 23වැනිදා දක්වා බෙයිජිංහිදී පැවැත්වීමට නියමිතයි. මෙවර සැසියේදී 15වන පස් අවුරුදු සැලැස්ම පිළිබඳ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරමින් ඉදිරි වසර පහ(2026-2030)තුළ චීනයේ සංවර්ධන දැක්ම සැලසුම් කිරීමට අපේක්ෂා කරනවා.
මොකක්ද මේ චීනයේ පස් අවුරුදු සැලැසුම් ක්‍රමය?

චීනයේ පස් අවුරුදු සැලැස්ම යනු ඉදිරි වසර පහ තුළ රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට මඟපෙන්වීම සඳහා චීනය විසින් සකස් කරන ලද මාර්ග සිතියමක්. එමගින් ප්‍රධාන වශයෙන් ජාතික උපායමාර්ගික අරමුණ ප්‍රකාශ කරමින් රාජ්‍ය කාර්යයන්හි ප්‍රමුඛතා පැහැදිලි කරනවා. එසේම එයට ජාතික සැලසුම් පද්ධතිය තුළ හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. 1953 සිට චීනය පස් අවුරුදු සැලසුම් 14ක් සකස් කොට ක්‍රියාත්මක කර තිබීමත් විශේෂත්වයක්. එමඟින් චීන ආර්ථික හා සමාජ සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම ඵලදායී ලෙස ප්‍රවර්ධනය කර තිබෙනවා.
පස් අවුරුදු සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
මෙම සැලැස්ම ප්‍රජාතන්ත්‍රවාදය හා මධ්‍යගතභාවය මනාව පිළිබිඹු කරන අවස්ථාවක්. එනම්, ඉහළ පෙළේ නායකයන් උපායමාර්ගික දිශාවන් තීරණය කරන අතරම මහජන අදහස් ද පුළුල් ලෙස ලබා ගැනීමක් මෙහිදී සිදු වනවා. 14 වන පස් අවුරුදු සැලැස්ම සකස් කිරීමේදී, චීන රජයට මාර්ගගත ආකාරයෙන් යෝජනා මිලියනයකට වඩා ලැබී ඇති බව වාර්තා වුණා. එය ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි නිරූපනයක් බවයි චීනය පෙන්වා දෙන්නේ.
පස් අවුරුදු සැලැස්ම චීනයට සහ සමස්ත ලෝකයට සිදු කර ඇති බලපෑම් කුමක්ද?
පස් අවුරුදු සැලසුම් 14 ක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින්, චීනයට සම්පූර්ණ කාර්මික පද්ධතියක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබුණු බව නොරහසක්. එමගින් චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සියගුණයකට වඩා වැඩි වී ඇති අතර චීනය 120කට වැඩි රටවල විශාලතම වෙළඳ හවුල්කරුවා බවට ද පත්ව අවසන්. එපමණක් නොව‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙල හා සම්බන්ධ රටවල යටිතල පහසුකම් සංවර්ධනයට ද දායක වී තිබෙනවා. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වැනි වේදිකා සමස්ත ලෝකයට පුළුල් මෙන්ම ආකර්ෂණීය වෙළඳ අවස්ථා ලබා දීම ඒ අතර කැපී පෙනෙනවා.
ඉදිරි 15 වන පස් අවුරුදු සැලැස්ම මඟින් 2026 සිට 2030 දක්වා ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයේ ගමන්මඟ පෙන්නුම් කරනවා. පෙර පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ රැස්වීම්වලට අනුව, ඉදිරි වසර පහ තුළ චීනය නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ඊට සමගාමීව සම්පූර්ණ ප්‍රතිසංස්කරණය පුළුල් ලෙස ක්‍රියාත්මක කොට ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කරමින් ආර්ථිකයේ තිරසර හා විධිමත් සංවර්ධනයක් මෙන්ම පුළුල් සමාජීය ප්‍රගතියක් ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවයි.
දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය
