ජලාශ හිස් නොකිරීම සම්බන්ධයෙන් කබීර් හෂිම් විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී එල්ල කරන ලද චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් පාඨලී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේය.
කබීර් හෂිම් මන්ත්‍රීවරයා ගම්පොළ ප්‍රදේශයේ 1000ක් පමණ මිය ගොස් ඇති බවට පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සහ ජලාශ හිස් නොකිරීම පිළිබඳ කළ චෝදනා මෙහිදී වැඩසටහන් පූර්වකයා විසින් පාඨලි චම්පික රණවක ගෙන් විමසා සිටියේය.
එහිදී පාඨලී චම්පික රණවක, ජලාශ හිස් කිරීමේ ප්‍රශ්නය සංකීර්ණ බව පැහැදිලි කළ නමුත්, ක්‍රියා පටිපාටිය නිසි ලෙස අනුගමනය නොකිරීම පිළිබඳ කබීර් හෂීම් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට එකඟතාවය පළ කළේය.
එමෙන්ම කොත්මලේ ජලාශය හුදෙක් වාරිමාර්ග හෝ විදුලිය උත්පාදනයට වඩා වැඩි යමක් කරන බවට පැවසූ පාඨලී චම්පික රණවක, එය සමස්ත විදුලි බල පද්ධතියේ සංඛ්‍යාත පාලනය සහ පද්ධතිය බිඳ නොවැටී පවත්වාගෙන යාමේ ප්‍රධාන නියාමන මධ්‍යස්ථානයක් බව සඳහන් කළේය.
ඒ හේතුවෙන් ඕනෑ ආකාරයට ජලය මුදා හැරීමට හෝ හිස් කිරීමට නොහැකි බව පෙන්වාදුන් ඔහු පවසන්නේ, සේ කළහොත් වැසි නොලැබුණහොත් රටේ විදුලි හා ජල අවශ්‍යතාවන්ට හානි වන අතර, එහි වගකීම භාර ගැනීම දුෂ්කර වන බවයි.
මහවැලි අධිකාරිය සහ විදුලි බල මණ්ඩලය සතුව, ජලාශවල ජල පෝෂක ප්‍රදේශයේ වර්ෂාපතන ප්‍රමාණය (උදා: මි.මී. 200) අනුව, ඉදිරි පැය 24 හෝ 48 තුළ ජලාශ මට්ටම ඉහළ යන ආකාරය ගණනය කිරීමේ තාක්ෂණික දැනුම තිබෙන බවද ඔහු පෙන්වාදුන්නේය.
පාඨලී චම්පික රණවක තව දුරටත් පෙන්වාදෙන්නේ, ආපදා කළමනාකරණ කවුන්සිලය රැස් වී සිටියේ නම්, මහවැලි, වාරිමාර්ග සහ විදුලි බල මණ්ඩලය යන ආයතන එකට සිටින බැවින්, එම තාක්ෂණික ගණනය කිරීම් අනුව, “කබීර් කියන විදිහට අත්දැකීමෙන් වතුර ඉවත් කිරීමට” නිසි තීරණයක් ගැනීමට හැකිව තිබූ බවයි. නමුත් “දින 12 ට මිලිමීටර් 200ක් වහිනවා යැයි කී පමණින්” අනවශ්‍ය ලෙස ජලාශ හිස් කිරීම අවදානම් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම කබීර් හෂීම් මන්ත්‍රීවරයා ගම්පොළ නගරයේ මියගිය පිරිස පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඍජුව සංඛ්‍යාවක් සඳහන් නොකළත්, නිරවද්‍ය සංඛ්‍යාව සොයා ගැනීමේ හැකියාව ඇති බව චම්පික රණවක පැවසිය.
ගම්පොළ සහ පේරාදෙණිය ඇතුළු ප්‍රදේශවල නිවැසියන්ගේ තොරතුරු ග්‍රාමසේවක මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම් මට්ටම දක්වා පවතින බැවින් දත්ත හිඟයක් නැති බවත් පසුගිය වසරේ (2024) සිදු කරන ලද ජන සංගණන දත්ත ද මෙම තොරතුරු තවදුරටත් තහවුරු කරන බව ද ඔහු කියා සිටියේය.
ව්‍යසනයට පෙර සිටි ජනගහනය සහ දැනට ඉතිරිව සිටින පිරිස සංසන්දනය කිරීමෙන් මියගිය සහ අතුරුදහන් වූවන්ගේ නියම සංඛ්‍යාව පහසුවෙන් ගණනය කළ හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
කොත්මලේ ජලාශය පමණක් ජල ගැලීමට හේතුව නොවන බව පැවසු චම්පික රණවක, ගම්පොළ නගරයට ජලය ලැබෙන්නේ කොත්මලේ ඔයෙන් පමණක් නොව, මහවැලි ගඟේ තවත් අතු ගංගාවකින් ද සැලකිය යුතු ජල ප්‍රමාණයක් ඇතුළත් වන බවත් කියා සිටියේය.
කෙසේවෙතත් ආපදා තත්ත්වයකදී නිවැරදි සහ කාලෝචිත තීරණ ගැනීමට කවුන්සිලය රැස්වීම අත්‍යවශ්‍ය වූ බවත්, එම යාන්ත්‍රණය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
(news19| ෆාතිමා සුමෙයිහා)




